එළවලු වගාවට වී වගාවට සහ කුඹුරු වගාව සඳහා අවශ්‍ය පොහොර මිලදී ගැනීමට දඹුල්ල නගරයේ කෘෂි අලෙවි සේවා ස්ථානවල අද ( 23) අලුයම සිට දිගු පෝලිම් පවතින බව දැක ගැනීමට හැකි විය.
දින ගණනාවක් තිස්සේ මේ ආකාරයෙන් පොහොර මිලදී ගැනීම සඳහා අලුයම් කාලයේ සිට පෝලිම් වල සිටිය ද ප්‍රමාණවත් පොහොර ලබා ගැනීමට නොහැකි වූ බව ගොවීහු පවසති.
මේ දිනවල දේශීය ලොකු ලූණු වගාව සහ එළවලු වගාවට බිම් සැකසීම සිදු කරන නමුත් ඊට අදාළ යොදන මඩ පොහොර වල හිගයක් පවතින බවත් මඩ පොහොර වෙනුවට වෙනත් එළවලු පොහොර වෙළඳපොළේ ඉතා සීමිතව පවතින බව ගොවීහු චෝදනා කරති.
අවශ්‍ය පොහොර වෙනුවට වෙනත් පොහොර මිටියක් හෝ මිලදී ගෙන වගාවට යෙදීම සඳහා පෝලිමේ සිටීමට සිදුව ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.
රාත්‍රී කාලයේ වන අලින් සහ වනසතුන්ගෙන් වගාවන් ආරක්ෂාකිරීමට පැල් රැක සිට අලුයම් කාලයේ ජීවිත අවදානමේ නගරයට පොහොර මිලදී ගැනීම සඳහා පැමිණීමට සිදුව ඇති බව ද ගොවීහු කියති.
පවතින වසංගත තත්ත්වය නිසා පොහොර හිගය පවතින බව තමා දන්නා නමුත් ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් නොමැති වීම නිසා ගොවිතැන අත්හැර දැමීමට පවා සිදුව ඇතැයි පෝලිමේ සිටින ගොවීහු කියති.
දින ගණනාවක් පෝලිම් වල රැඳී සිටිය ද එක් ගොවියකුට ලැබෙන්නේ එක පොහොර මිටියක් පමණක් බවත් එය ප්‍රමාණවත් නොවන බවද ඔවුහු කියති.
කාබනික පෝර භාවිතයට ගමන් කරන ලෙස විවිධ කණ්ඩායම් උපදෙස් ලබා දුන්න ද එම පොහොර මිලදී ගැනීමට ස්ථානයක් නොමැති බව ගොවීහු කියති.
ගොවීන් කියා සිටින්නේ වෙළඳපලේ පොහොර හිඟය පිළිබඳව කඩිනමින් රජයේ අවධානය යොමු කරන ලෙසය.
මෙම පොහොර හිඟය පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඊයේ (22) දින පස්වරුවේ දඹුල්ල ප්‍රදේශයේ ගොවි බිමකට ගොස් කියා සිටියේ ගොවීන් මේ වන විට වගා කටයුතු ආරම්භ කොට තිබෙන බව ය. එහෙත් රජයේ වගකීම ගොවීන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබාදීම බවය රජය පොහොර හිඟය පිළිබඳව ගොවීන්ට ම චෝදනා කරමින් සිටින බවද නාමල් කරුණාරත්න මහතා චෝදනා කළේය . කෙසේවෙතත් කඩිනමින් ගොවීන්ට මෙම සහන සලසා දෙන්නැයි රජයෙන් හෙතෙම ඉල්ලීමක්ද කළේය.
කාංචන කුමාර