පසුගිය කාලය මුළුල්ලේ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර අර්බුධ පිළිබඳ කතා කරමින් සිටි අයගේ සැබෑ අර්බුදය දැන් සමාජගත වන්නට පටන් ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ එක්සත් ජාතික නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාඇල ප්‍රදේශයේ (30) පැවති ජනහමුවකට එක්වෙමින්.
වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා පැවසුවේ පසුගිය කාලය මුළුල්ලේම එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයක් සමාජගත කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ දැරුව ද අද වන විට සැබෑ අර්ථය සමාජය හමුවේ අනාවරණය වී ඇති බවයි.
මේ වන විට නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන් අපේක්ෂකයින් වේදිකාවල හඬා වැටෙමින් කතා කරන ආකාරය සිහිපත් කළ රුවන් විජයවර්ධන මහතා පොදුජන පෙරමුණේ සහ නිදහස් පක්ෂයේ අභ්‍යන්තර බල අර්බුදය මේ වන විට උත්සන්න වී ඇති බව ද පැවසුවා. මීට අමතරව පොදුජන පෙරමුණ නියෝජනය කරන ඇතැම් අපේක්ෂකයින් අතර මෙන්ම වියත් මග නියෝජනය කරන කණ්ඩායම අතර ද උග්‍ර අර්බුධ නිර්මාණය වී ඇති බව පැවසූ විජයවර්ධන මහතා, තවමත් ඇතැම් කණ්ඩායම් සමාජ ගත කිරීම උත්සාහ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ගැටුමක් බවයි සඳහන් කළේ.
පසුගිය දිනක පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් අතර බූරුවන් සහ අශ්වයින් සිටින බවට ඕෂධී හේවාමද්දුම නම් අපේක්ෂිකාව සිදු කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා ඕෂධී හේවාමද්දුම මහත්මියට නාමයෝජනා ලබා දුන්නේ බූරුවෙකු යැයි පවසා තිබූ බවත්, පෙරළා ප්‍රතිචාර දක්වමින් තමන්ට නාමයෝජනා ලබාදුන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා බවට ඕෂධී හේවාමද්දුම මහත්මිය සිදු කළ ප්‍රකාශයත් සිහිපත් කළ විජේවර්ධන මහතා මේ වන විට ආණ්ඩු පක්ෂයේ දේශපාලන අර්බුදය එවැනි මට්ටමක් දක්වා වර්ධනය වී ඇති බවත් පෙන්වා දුන්නා.