පාසලේදී ක්ලාන්තයක් ඇතිවූ පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු රෝහලට ඇතුළත් කිරිමෙන් පසු විනාඩි කිහිපයකින් මියගිය පුවතක් අද ( 12) දින දහවල් දඹුල්ල පොලීසියෙන් වාර්තා වේ.
දඹුල්ල වීර මොහාන් ජයමහ විදුහලේ දහය වසරේ ඉගෙනුම ලබන පි .බී .පුබුදු මධුසංඛ (15) නැමති දරුවා මෙසේ මියගොස් තිබේ.
මෙදින විද්‍යාලයේ වෛද්‍ය පරික්ෂණයක් ද පැවැත් වෙමින් තිබුණු බවත් මෙම දරුවා එම වෛද්‍ය පරීක්ෂණවලට ලක් නොවුණු බව විදුහල්පති අරුණ බණ්ඩාර ලියනආරච්චි මහතා කියා සිටී. මෙම දරුවා පාසලේ 6 වැනි ශ්‍රේණියේ පන්තියක වාඩිවී ඩෙස් එකක් මත හිස තබාගෙන සිටින බවට තවත් දරුවෙකු විද්‍යාලයේ විද්‍යාව උගන්වන ගුරුවරයකුට දැනුම් දී තිබෙන බව විදුහල්පතිවරයා පැවසීය.
පසුව මෙම ගුරුවරයා තවත් දරුවන් දෙදෙනෙකුගේ සහාය ඇතිව විද්‍යාලයේ ඒ වනවිටත් සිටි වෛද්‍යවරයකුට පෙන්වීමත් සමග වහාම දරුවා රෝහල්ගත කරන ලෙස වෛද්‍ය උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව පාසලේම තිබුණු ගිලන් රථයකින් දරුවා දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලට ඇතුළත් කොට ඇතැයි පොලීසිය කියයි.
රෝහලට ඇතුළත් කොට විනාඩි කිහිපයක් ගතවෙද්දී දරුවා මියගොස් තිබෙන බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
රෝහල් භූමියට පැමිණි මිය ගිය සිසුවා ගේ මව සහ පියා කියාසිටියේ මෙම දරුවා උපතේදීම පපුවේ සිදුරක් පැවතෙන බව වෛද්‍යවරු දැනුම් දී තිබෙන බවය. එහෙත් ඒ සඳහා ප්‍රතිකාර නොගත් බවත් ඔවුන් පවසති.
ලබන ජනවාරි මාසයේ මෙම දරුවා මහනුවර රෝහලට රැගෙන යෑමට නියමිතව තිබුණු බවද මව කියා සිටියාය.
මියගිය පුබුදු මධුශංක සිසුවා දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මාපියන් දෙදෙනා ගොවිතැන් බත් කරන බව පොලීසිය කියයි.
කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පි . එදිරිසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනු ලබයි.