පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී යම් අසාධාරණයක් සිදුව ඇතැයි පෙනීයන්නේ නම්, තොරතුරු දැනගැනීමේ පනත මගින් ලබාදී ඇති අවස්ථා උපරිම ප්‍රයෝජනයට ගනිමින් ඒ පිළිබඳ අදාළ නිලධාරීන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා දෙමවුපියන්ගෙන් ඉල්ලා සිටියි.
යහපාලන රජය බලයට පැමිණීමෙන් පසු රජයේ සියලු කටයුතු උපරිම විනිවිදභාවයකින් හා සාධාරණ ලෙස සිදු කිරීමටත්, රජයේ කටයුතු සම්බන්ධ තොරතුරු බාධාවකින් තොරව මහජනතාව වෙත ලබාදීමටත් තොරතුරු දැනගැනීමේ පනත හඳුන්වා දෙනු ලැබූ බවද ඔහු පවසයි.
පාසල්වල පළමු වසරට ඇතුළත් කර ගන්නා සිසුන්ගේ නාමලේඛනය ප්‍රදර්ශනය කිරීමෙන් පසු තමන් ඉල්ලා සිටි පාසලට තේරී නොමැති සිසුන් වෙනුවෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට හැකි අතර, තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ තොරතුරු ඉල්ලා සිටීමටද හැකියාව පවතින බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරයි.
එමෙන්ම ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් යම් දරුවෙකු පාසලකට ඇතුළත් කළහොත් 2019 වර්ෂය සඳහා රජයේ පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛයට අදාළව එම දරුවා එම පාසලින් ඉවත් කිරීමට සිදුවනු ඇතැයිද හෙතෙම ප්‍රකාශ කරයි.
පාසල්වලට නවක සිසුන් ඇතුළත් කර ගැනීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ සහ උපදෙස් අනුව සියලු විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා, දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමට අදාළ ලේඛන ප්‍රසිද්ධියට පත්කිරීමේදී ඉල්ලුම් කර ඇති ගණය, ඊට අදාළව ලබා ගත් ලකුණු මෙන්ම අදාළ අනෙකුත් තොරතුරුද ප්‍රසිද්ධියට පත්කරන ලෙස උපදෙස් දී ඇතැයිද සඳහන් කරයි.
පුරවැසියන්ගේ සක්‍රීය ක්‍රියාකාරීත්වය පෙන්වන මෙවැනි ක්‍රියා මගින් තොරතුරු දැනගැනීමේ පනත බලගැන්වීම මෙන්ම රාජ්‍ය සේවය, සාධාරණ මහජන හිතකාමී සේවයක් බවට පත්කරලිය හැකි බවද අමාත්‍යවරයා පවසා සිටියි.