කොවිඩ් අභියෝගයේ අවදානම සම්පූර්ණයෙන් අවසන් වීමට තවත් වසර දෙකහමාරක් පමණ ගතවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති බවත්, එවන් තත්ත්වයක් මත දරුවන්ගේ පාසල් ගමන තවදුරටත් අවුරාතැබීම ප්‍රායෝගික සාර්ථක නොවන බවත්, ඒ නිසා පවත්නා අභියෝගයට දැඩි වගකිමෙන් මුහුණ දෙමින් පාසල් විවෘත කිරිමට රජය වෙනුවෙන් තීන්දුවක් ගත් බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කොවිඩ් අභියෝගය මධ්‍යයෙහි පවත්වන ලද මෙවර පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් උපරිම ලකුණු ලබාගත් සිසුන් දසදෙනා ඇගයීම වෙනුවෙන් සහ E –wis ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් ඔවුන් ඉගෙනුම ලබන පාසල් වෙත ඩිජිටල් ඉගෙනුම් පුවරු (Smart Boards) ලබාදීම වෙනුවෙන් අද (24) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.
ලොව සෑම රටකට ම ආර්ථික ශක්තියක් සපයන සුවිශේෂිත සම්පත් පවතින බවත්, අපේ රටට ඇති සහජ සම්පත මානව සම්පත බවත්, ඉතා නිර්මාණශීලී විශිෂ්ට මානව සම්පතක් අප සතුව පවතින බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විශිෂ්ට විභාග සමතුන් නාමමාත්‍රිකව ඇගයීමට පමණක් සීමා නොවී අනාගතයට ඔවුන් ඵලදායී සම්පත් බවට පත්කිරීමේ පුරෝගාමීන් වූ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමව්පියන් ඇතුළු සියලු පාර්ශව වෙත කෘතවේදීත්වය පළ කරන්නට ද මෙය අවස්ථාවක් කරගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
අසීරු අවස්ථාවක අභියෝගයෙන් පලා යාම වෙනුවට අභියෝගයට මුහුණ දීමේ අමාරු කාර්යය තෝරාගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය ගත් ක්‍රියාමාර්ගය සාර්ථක කරගන්නට උරදුන් සියලු පාර්ශව වෙත අධ්‍යාපන අමාත්‍යවරයා සිය කෘතවේදීත්වය පළ කළේය.
පාසල් ආරම්භ කිරීමට ගත් තීරණය පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, “සමහර පළාත්වල දෙමව්පියන් ඊයේ දිනයේ දරුවන් පාසල් එවන්නට මැලිකමක් දක්වා තිබුණා. ඒක ස්වභාවිකයි. හුදකලා කළ පොලිස් වසම් විවෘත කළාට මිනිසුන් ක්ෂණික ව පාරට බහින්නෙ නෑ. මේ තත්වයන් ලයිට් ස්විච් එකක් දානවා වගේ එකපාර වෙනස් කරන්න බෑ.
ගුරුවරුන්ගේ පැමිණීම 85% මට්ටමේ තිබුණා. එය අගය කළ යුතුයි. සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු තීරණ අපි අරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් මුදල් වෙන් කරදී තිබෙනවා. පාසල් කමිටු ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් සිටිනවා. ක්‍රමක්‍රමයෙන් මේ තත්වයන් සාමාන්‍ය අතට පත්වෙයි කියල අපි විශ්වාස කරනවා.
පාසල් වසා තබනවා කියන්නේ දරුවන්ගේ අනාගතය වසා තැබීමක්. ඒකෙන් අදහස් කරන්නේ, දරුවන්ගේ සෞඛ්‍ය තර්ජනයකට ලක්කරමින් හෝ පාසල් විවෘත කළ යුතුයි කියන එක නොවේ. දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් පාසල් පවත්වාගෙන යාමට අපි රජයක් වශයෙන් අවතීර්ණ වී සිටිනවා. ඒ වගකීම අපි ඉටු කරනවා.. “ යැයි ද පැවසීය.
මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් අතරින් ඉහළම ලකුණු ලබාගත් දරුවන් දෙදෙනෙක්ද මේ අවස්ථාවට එක්ව සිටි අතර, ඔවුන්ටද ඇගයීම් සහතික ලබා දෙන ලදී.