පලාගල, බුදුගෙහින්න මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ අලුතින් ඉදිකෙරෙමින් තිබූ ක්‍රීඩා විවේකාගාරයේ කොන්ක්‍රීට් කණුවක් හිස මත ඇද වැටීමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් වීම සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයා ඊයේ (10දා) අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලීසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෙවර අ.පො.ස. සා.පෙළ විභාගයට මුහුණදීමට නියමිතව සිටි ගල්කිරියාගම, බුදුගේහින්න ප්‍රදේශයේ පදිංචි එල්.කේ. පසිඳු ක්‍රිෂාන් කරුණාතිලක නමැති සිසුවෙකි.
පාසල් කාලයෙන් පසුපාසලේ සිසු සිසුවියන් අත්පන්දු ක්‍රීඩාව සහ පාපන්දු ක්‍රීඩාව නිරතව සිටියදී ක්‍රීඩාංගණය ආසන්නයේ ඉදිකරමින් තිබූ ක්‍රීඩා විවේකාගාරය ආසන්නයේ මියගිය පාසල් සිසුවා රැඳී සිටියදී, එම ස්ථානයට පැමිණි සිසුන් පිරිසක් කොන්ක්‍රීට් කණුවකට හේත්තු වීමත් සමග එය මියගිය සිසුවාගේ හිස මතට කඩාවැටී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවා ගලේවෙල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.
පාසලේ සිසු දරුදැරියන් සහ ප්‍රදේශවාසීහු පාසල් භූමියේදී සහ ගලේවෙල ප්‍රාදේශීය රෝහලේදී නොසන්සුන්කාරී ලෙස හැසිරුණ බවද පොලීසිය පැවසීය.
මෙවර පළමු වසර පන්ති සඳහා ළමයින් ඇතුළත් කිරීමේදී එම දරුවන්ගෙන් මුදල් අය කරමින් විදුහල්පතිවරයා විසින් මෙම විවේකාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබුණු බවත්,පෞද්ගලික ආයතනවලින් ගෙන්වා තිබූ කොන්ක්‍රීට් කණු කිසිදු සවි කිරීමකින් තොරව ඉතා අනාරක්ෂිත ලෙස සිටුවා තැබීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි දෙමවුපියෝ චෝදනා කළහ.
පාසලේ දරුවෙකු මේ ආකාරයෙන් මියගොස් තිබුණද පෙරේදා (09දා) සවස් වනතුරු විදුහල්පතිවරයා පාසලට හෝ රෝහලට නොපැමිණි බවද ඔවුහු පැවසූහ.
එමෙන්ම එම ස්ථානයට රැස් වූ දෙමවුපියෝ ක්‍රීඩා විවේකාගාරය සවිකර තිබූ අනිත් කණු කිහිපය බිමට පෙරළීමට කටයුතු කළ අතර, එම කොන්ක්‍රීට් කණු මහපොළොවට හෝ එහි අත්තිවාරමට සම්බන්ධ කර නොමැතිව ඉතාමත් අනාරක්ෂිත ලෙස ඉදිකර තිබූ බවද දෙමවුපියෝ සඳහන් කළහ.
ගල්කිරියාගම පොලීසියේ නිලධාරීහු පාසලට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර, සිද්ධිය ඇසින් දුටු සිසුසිසුවියන් සිදුවීම පිළිබඳ අදහස් දැක්වුවද, විද්‍යාලයේ කිසිදු වගකිවයුතු පුද්ගලයෙකු මේ සඳහා ප්‍රකාශයක් ලබාදීමට ඉදිරිපත් නොවීම ද විශේෂත්වයකි.
එසේම ඊයේ (10දා) උදෑසන විදුහල්පතිවරයා පාසලට පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීහු ඔහු පැය හතරක පමණ කාලයක් විද්‍යාලයේ කාමරයක දමා සිර කර තැබූ බවද පොලීසිය පැවසීය.
අනතුරුව මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවේ පාසලේදී සිදු කිරීමට පෙර අධ්‍යාපන බලධාරීන් සහ දෙමවුපියන් අතර විද්‍යාලයේ සාකච්ඡාවක් පැවැත්විණි.
එම සාකච්ඡාව අතරතුරදී නොසන්සුන්කාරී ලෙස හැසිරිණු දෙමවුපියෝ විදුහල්පතිවරයා සහ පෙදරේරුවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බලකළහ.
අනතුරුව අධ්‍යාපන බලධාරීන් විදුහල්පතිවරයා වාහනයක දමාගෙන විද්‍යාලයෙන් පිටතට රැගෙන යෑමට උත්සාහ කිරීමත් සමගදෙමවුපියෝ විද්‍යාලයේ ගේට්ටුව අවහිර කරමින් විදුහල්පතිවරයා රැගෙන යෑමට ඉඩ ලබා නොදීමට ක්‍රියා කළ අතර, ගල්කිරියාගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීහු පිරිස මගහැරීමට උත්සාහ කළද සියලු උත්සාහයන් අසාර්ථක විය.
පසුව නැවතත් විදුහල්පතිවරයා කාමරයකට දැමූ දෙමවුපියෝ කාර්යාලය ඉදිරිපිට රැඳී සිටියදී, එම ස්ථානයට කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථාන පරීක්ෂාව සිදු කළහ.
පොලිස් නිලධාරීන් සහ දෙමවුපියන් අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවූ අතර,පොලීසිය එම තත්ත්වය මැඬපැවැත්වීම සඳහා දැඩි උත්සාහයක නිරත වූහ.
පසුව පොලීසිය ප්‍රදේශවාසීන් එක්ව සාකච්ඡා කිරීමෙන් පසු පොලීසිය විසින් විදුහල්පතිවරයා අත්අඩංගුවට ගන්නා ලදී.
බුදුගෙහින්න මහා විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අද (11දා) දින සම්පූර්ණයෙන්ම නවතා නිවාඩු ලබා දෙන බව පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු දෙමවුපියන්ට සහ දරු දැරියන්ට දැනුම් දෙනු ලැබීය.
මියගිය සසිඳු කරුණාතිලක සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය දඹුල්ල රෝහලේදී පැවැත්වූ අතර,අනතුරුව දඹුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ජයම්පති රත්නදිවාකර මහතා පොලීසියට නියෝග කළේ, මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අවදානම් ලෙස ඉදිකිරීම් සිදුකළ පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි
සිද්ධිය වූ ස්ථානයට පැමිණි උතුරු මැද පළාත් නව ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පවසා සිටියේ, වහා ක්‍රියාත්මක වන පරිදි මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
ආණ්ඩුකාර කාර්යාලයෙන් සහ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පරීක්ෂණ දෙකක් පවත්වන බවත්, විදුහල්පතිවරයා සිදුකර ඇති ඉදිකිරීම් පිළිබඳ වෙනම පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය බවත් ඒ මහතා පවසා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
එස්. කරුණාරත්න