ලංකාවේ දරුවන්ගෙන් මන්දපෝෂණය තුරන් කිරීම සහ ධාරණ ශක්තිය දැමීම සඳහා පෝෂණ ගුණයෙන් ඉහළ සහල් නිෂ්පාදනය කොට පාසැල්වල දරුවන්ට නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙළක් ලෝක ආහාර සංවිධානය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කොට ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.
ඒ අනුව ඒ මූලික අදියරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසල්වල පහ වසරෙන් පහළ සියලු දරුවන්ට මෙම සහල් වලින් නිෂ්පාදනය වන ආහාර නොමිලේ ලබා දීම සඳහා වැඩසටහන ආරම්භ කිරීම සහ ඒ පිළිබඳව රජයේ බලධාරීන් දැනුවත් කිරීම අද (24) පෙරවරුවේ සීගිරිය සංචාරක නිකේතනයක දී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මේ අවස්ථාවට ලෝක ආහාර සංවිධානයේ නිලධාරීන් සෞඛ්‍ය අංශ මෙන්ම කෘෂිකර්ම නිලධාරීන් එක්ව සිටියහ.
මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා කියා සිටියේ මන්දපෝෂණය තුරන් කිරීම සඳහා විශේෂ ඛනිජ ලවණ එක්කොට සහල් නිෂ්පාදනය කොට අත්හදා බැලීමක් වශයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසල් ළමුන් සඳහා මෙම විශේෂ ආහාර වේල නොමිලේ ලබාදීමට තීරණය කොට තිබෙන බවය.
මෙම විශේෂ සහල් අනුභව කිරිමෙන් කුඩා දරුවන්ගේ මන්දපෝෂණය දුරු වෙන බවත් දරුවන්ගේ වර්ධන හැකියාව ධාරණ ශක්තිය වැඩිවන බවත් අමාත්‍යාංශය යටතේ පවතින ආහාර ප්‍රවර්ධන වැඩසටහන සහ ලෝක ආහාර සංවිධානය එක්ව මෙය සිදුකරන බවත් සහල්වලට තවමත් නමක් තබා නැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
දැනට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 500ක් පමණ තෝරාගෙන තිබෙන බවත් පසුව මෙම සහල් වැඩසටහන දිවයින පුරා සෑම පාසලකම 5වසරට පහළ ඉන්න දරුවන්ට ලබාදීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.
ගොවීන්ගෙන් ලබා ගන්නා සහල් අවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය එකතු කොට පාසල්වල දරුවන්ගේ දිවා ආහාරයට ලබාදීම මෙහි අරමුණ බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය .
සහල් සැකසීමේ කටයුතු බුල්නෑව ප්‍රදේශයේ සහල් මෝලක සිදුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.