අනුරාධපුර අධ්‍යාපන කලාපයේ විද්‍යාල ත්‍රිත්වයක පවතින ගුරු හිඟයට විසඳුම් ඉල්ලා එම විද්‍යාලයන්හී ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ දෙමාපියන් අද (23) අනුරාධපුර කලාප කාර්යාලයට පැමිණ තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුභවතුන් ලබා දෙන ලෙස බල කරනු ලැබීය.
අනුරාධපුර අධ්‍යාපන කළාපයට අයත් සියඹලාගස්වැව මැදගම විද්‍යාලය,පහළ හල්මිල්ලෑව ශ්‍රී දුටුගැමුණු විද්‍යාලය හා මහාබෝධි විද්‍යාලයන්හී පවතින ගුරු හිඟයන්ට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් මෙලෙස දෙමාපියන් පනහකට ආසන්න පිරිසක් අනුරාධපුර කලාප කාර්යාලය වෙත පැමිණි නමුත්, මහජන දිනය වූ අද (23) දින කලාප අධ්‍යාපන අධ්යක්ෂතුමන් කාර්යාලයේ රැදී නොසිටීම හේතුවෙන් දෙමාපියන් කලාප අධ්යක්ෂතුමන්ට දොස් පවරමින් කාර්යාලයට ඉදිරිපිට පැය කීපයක් රැදී සිටියහ.
අනතුරුව අදාළ ස්ථානයට රාජකාරි කටයුත්තක් සඳහා බැහැරව ගොස් සිටි අනුරාධපුර කළාප අධ්‍යාපන අධ්යක්ෂ ජේ.එම්.කේ.ආර් බංඩාර මහතා පැමිණි අතර, විද්‍යාල තුනෙහිම දෙමාපියන් කළාප කාර්යාලය තුළට ගොස් තම පාසල් වල පවතින ගැටලු ඉදිරිපත් කළහ.
එහිදී දෙමාපියන් කියා සිටියේ 2019 වර්ෂය ආරම්භයේ සිට මෙතෙක් තම දරුවන්ට එකදු අකුරක් හෝ උගන්වා නැති බවත්, දරුවන් පාසල් ගොස් සෙල්ලම් කර නැවත ගෙදරට පැමිණෙන බවත්ය. ඒ හේතුවෙන් දරුවන් අනාරක්ෂිත තත්වයට පත්ව ඇති බැවින් ඇතැම් දෙමාපියන් දරුවන් පාසල් නොයවන බවද දෙමාපියන් පැවසීය. නගරයේ පාසල් වලට සියලු පහසුම් ලබා දී ගමේ පාසල් වසා දැමීමට කටයුතු කරන්නේ මන්දැයි ඔවුන් අධ්යක්ෂතුමන්ගෙන් විමසූ අතර, ළඟම පාසල හොඳම පාසල කීයූවද ගුරුවරු නොමැතිව පාසල් වැසී යන තත්වයට මේ වන විට පත්ව ඇතැයිද ඔවුන් පැවසීය.
සියලු කරුණු සලකා බැලූ අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්යක්ෂ ජේ.එම්.කේ.ආර් බංඩාර මහතා එම විද්‍යාලයන්හී පවතින ගුරු පුරප්පාඩු කඩිනමින් විසඳන බවට ලබා දුන් පොරොන්දුව මත දෙමාපියන් විසර ගියහ.