ඇදිරි නීතිය උල්ලංඝනය කරමින් පැමිණ පිළියන්දල බෝකුන්දර මාර්ග බාධක යෙදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මෝටර් රථයෙන් පළා ගිය පුද්ගලයා හා කාන්තාවන් දෙදෙනා අද( 26) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය පවසයි.
කොළඹ දෙස සිට පැමිණි මෝටර් රථය මාර්ග බාධකයේ දී නවතා ඇදිරි නීති බලපත්‍රය ඉදිරිපත් කරන ලෙස පොලිස් නිලධාරීන් දැන්වූ අවස්ථාවේදී සැකකාර පුද්ගලයා ආවේගශීලි ලෙස හැසිරී මෝටර් රථයෙන් බැස පොලිස් නිලධාරීන්ට බැණ වැදී සෙසු කාන්තාවන් දෙදෙනා සමග මෝටර් රථයේ නැගී පළා ගොස් තිබිණි .
මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව සැකකරුවන් පදිංචි බොරැල්ල සීවලීපුර ප්‍රදේශයට ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි .
සැකකරු හා සැකකාරියන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි .
බිමල් ශ්‍යාමන් ජයසිංහ