පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 8ක් තහනම් කිරිමට පියවර
පරිසරයට අහිතකර තවත් භාණ්ඩ වර්ග 08 ක් තහනම් කිරීමට ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කරන බව පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (05) පැවසීය.
ඊට පොලිතීන් බෑග්, ප්ලාස්ටික් ඉදි ආප්ප වට්ටි, ප්ලාස්ටික් පිගන් ,ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් හැඳි වැනිදෑ ඇතුළත් වන බව පැවති එම කාරක සභාවේ රැස්වීමේදී අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
ලන්ච්ෂීට් තහනම් කිරීමේ නීතිය ලබන සැප්තැම්බර් 01 වැනිදා සිට දැඩිව ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කාරක සභාවේදී අවධාරණය කළේය. ඊට අදාළ වැටලීම් ඉහළ නංවන ලෙසද හෙතෙම නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
වර්තමානයේ උද්ගතව ඇති කොවිඩ් 19 වසංගත තත්ත්වය සමඟ භාවිත කරන මුව ආවරණ නිසි පරිදි බැහැර නොකිරීම හේතුවෙන් සමාජය තුල පාරිසරික ගැටලු රැසක් උද්ගතව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.
මුව ආවරණ නිසි පරිදි බැහැර කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක් හඳුන්වාදී ඇති බවත්, එය මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවත්, මධ්‍යම පරිසර අධිකාරිය සභාවට දැන්වීය.
මුව ආවරණ බැහැර කිරීමේදී ජනතාව වඩාත් සැළකිලිමත් විය යුතු බව කාරක සභාවේ සභාපතිවරයාද මෙහිදී කීවේය. මෙම කාරණයේදී පළාත් පාලන ආයතන වෙත විශාල වගකීමක් පැවරෙන බව පරිසර කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කාරක සභාවේදී පෙන්වා දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

