පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසන් සභා වාර්තාව පිළිබඳව විවාදය ලබන මාර්තු 10 වැනි දින ආරම්භ කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.
ඒ අනුව ජනාධිපති කොමිසන් සභා වාර්තාව, රජය විසින් ගෙන එනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට එම රැස්වීමේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේය.
මාර්තු 9 වැනිදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව ආරම්භ කරන අතර පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා කාලය වෙන් කෙරෙනු ඇත.
ඉන්පසුව පසුගිය පාර්ලිමේන්තු වාරයේදී කල්තබන ලද මැණික් හා ස්වර්ණාභරණ පනත යටතේ ගෙන එනු ලබන රෙගුලාසි පිළිබඳ විවාදය, විදේශ විනිමය පනත යටතේ වන රෙගුලාසියක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග 2ක් පිළිබඳ විවාදය ද පෙ.ව 11.00 සිට ප.ව 03.30 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්ෂ නායකයන් තීරණය කළ බව ධම්මික දසනායක මහතා සඳහන් කළේය.
මෙරට කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ඉදිරිපත්කර ඇති යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මෙදින සිදුවන බව මහලේකම්වරයා පැවැසුවේය.