පුරාවිද්‍යා ආඥාපනත සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණද, රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පනතක් සංශෝධනය කිරීමේ බලයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
පනත් නිර්මාණය කිරීමේ බලය පාර්ලිමේන්තුව සතු බවත්, එසේ තිබියදී පුරාවිද්‍යා ආඥාපනත සංශෝධනය කිරීමට කමිටුවක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙන බවත් එම පක්ෂයේ ජාතික සංවිධායක ජාතික ජන බලවේගයේ අපේක්ෂක බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කළ වැරදිකරුවන්ට දඬුවම් නොකර, පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කළ අපරාධකරුවන් රකිමින්, පුරාවිද්‍යා ආඥාපනත සංශෝධනය කිරීම වංචනික ක්‍රියාවක් බවත්, එය හෙළා දකින බවත් ඒ මහතා පවසා සිටියේය.
කුරුණෑගල බුවනෙකබා පුරාවිද්‍යා ස්ථානය විනාශ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ නායකයන් නිසි සැලකිල්ලක් නොදක්වමින් සමච්චලයට ලක්කරමින් කටයුතු කරන බවත්, මෙම ස්ථානය පුරාවිද්‍යා භූමියක් ලෙස පොතපතේ තිබෙන අතර, ජනතාවගේ පිළිගැනීමක්ද තිබෙන බවත්, මේ නිසා සමාජය කම්පා වී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
රට තුළ පුරාවිද්‍යා ස්ථාන දෙලක්ෂ පනස් දහසක් පමණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් හඳුනාගෙන තිබෙන බවත්, මින් ස්ථාන දසදහසක්වත් සංරක්ෂණය කිරීමට නොහැකි වී තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
එසේ තිබියදී දේශපාලනඥයන් පුරාවිද්‍යා ස්ථාන විනාශ කර දමමින් සිටියදී රටේ පාලකයන් මේ පිළිබඳව කිසිදු අවදානයක් යොමු නොකරන බවත්, එසේ තිබියදී ජනාධිපතිවරයා ජනතාවගේ ඇසට වැලි ගැසීමට, මනසට වැලි ගැසීමට අවශ්‍ය කටයුතු කරන බවත් ඒ මහතා පවසා සිටියේය.
ජාතික ජන බලවේගය මගින් සංවිධානය කළ ඊයේ (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.