පසුගිය සතිය පුරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීම දැඩි කනගාටුවට හා කනස්සල්ලට කාරණාවක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය පෙන්වා දෙයි. පාර්ලිමේන්තු වරප්‍රසාද තුලින් සාපරාධි ක්‍රියාවන් වල නියැලෙන මන්ත්‍රීවරුන් නීතියෙන් ආරක්ෂා නොවන බවද TISL ආයතනය අවධාරණය කරයි. එමෙන්ම මන්ත්‍රීවරුන් පොලිසියේ නිලධාරීන්ට පහරදීම තුලින් හා ඔවුන් කෙරෙහි තර්ජනාත්මකව හැසිරීම වැනි සාපරාධි ක්‍රියාවන් සඳහා දුර්විපාක නොලැබීමේ සංස්කෘතියක් පවතින බවත් නීතියේ ආධිපත්‍යයට කිසිදු ගරුත්වයක් නොමැති බවක් පිළිඹිඹු වන බව TISL ආයතනය පෙන්වා දෙයි.
නොවැම්බර් මස 14, 15, 16 දිනයන්හි ඇතැම් මන්ත්‍රීවරුන් ක්‍රියා කළ ආකාරය මෙම වසරේ අප්‍රේල් මාසයේදී සම්මත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආචාර ධර්ම සංග්‍රහයට සම්පුර්ණයෙන්ම පටහැනි වන අතර, පාර්ලිමේන්තු සැසිවාරය බලහත්කාරයෙන් කඩාකප්පල් කිරීමට දැරූ උත්සාහයන් පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි වන බවද TISL ආයතනය පෙන්වා දෙයි.
මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වු TISL ආයතනයේ විධායක අධ්යක්ෂ ඔබේසේකර මහතා
“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අල්ලස් ලබාදීම පිළිබඳව TISL ආයතනය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ල පිළිබඳව මේ දක්වා ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව අපට පෙනී යයි. මෙවන් අවස්ථාවක උදාසීනත්වය හේතුවෙන් නීතියේ ආධිපත්‍ය හා ප්රජාතන්ත්රවාදය සුරැකීම වෙනුවෙන් පිහිටුවා ඇති ආයතන කෙරෙහි ජනතා විශ්වාසය දැවැන්ත පිරිහීමකට ලක් වන බව ඔහු වැඩිදුරටත් පවසයි.