( UPDATE) 2020-03-02- 9.13 AM
ශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තුව අද (02දා) මධ්‍යම රාත්රියේදී විසුරුවාහැරිමට නියමිතව තිබේ. පාර්ලිමේන්තුවේ වසර හතර හමාරක කාලය මේ වන විට අවසන්ව ඇති හෙයින් ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සඳහා මේ වන විට බලය ලැබී තිබේ.
2020-03-01 4.33 PM පාර්ලිමේන්තුව හෙට විසුරුවනවා - ප්‍රසන්න
හෙට (02) මධ්‍යම රාත්‍රියේ දී වත්මන් පාර්ලිමේන්තුව අනිවාර්යෙන් ම විසුරුවා හරින බවත් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ස්ථාවර ආණ්ඩුවක් පත් කර ගැනීමෙන් වර්තමානයේ ජනතාව මුහුණ දෙන ගැටළු රැසක් විසදා ගත හැකි වනු ඇති බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ගුරු සංගමයේ රැස්විමක දී රණතුංග මහතා මේ බව සඳහන් කළේය. රැස්වීම අද (01) උඩුගම්පල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ දි පැවැත්විණ.
ජනාධිපතිවරයා හා අගමැතිවරයා පක්ෂ දෙකකින් පවත්වී රටක් ගොඩ නැගිය නොහැකි බවත් රට ගොඩ නැගීමට නම් දෙදෙනා ම එක් පක්ෂයකින් පත් ව ස්ථාවර ආණ්ඩුවක් බිහිවිය යුතු බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
"පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ජනපති, අගමැතියි වැඩ කළේ එළ හරකයි, මී හරකයි වගේ. දෙන්නා දෙපැත්තට ඇද්දා. මේ නිසා රට තුළ කිසිම වැඩක් වුණේ නෑ. දැන් සජිත් ප්‍රේමදාස පාර්ශවය කියනවා එයාව අගමැති කරන්න කියලා. ජනාධිපති එක පක්ෂයකිනුත්, අගමැති තව පක්ෂයකිනුත් පත් වෙලා ජීවිතේට මේ රට ගොඩගන්න බෑ. අපිට එහෙම අත්දැකීම් තියෙනවා.
මහින්ද - ගෝඨා සුසංයෝගයෙන් තමයි වසර 30 ක යුද්ධයෙන් මුදා ගත්තේ. පසුගිය මාස 03 තුළ විපක්ෂය අපට විවිධ කකුල් මාට්ටු දාද්දි අපි හැකි පමණ යහපාලන ආණ්ඩුව ආපහු හරවා තිබු රටේ ඉදිරි ගමන යථා තත්ත්වයට පත් කරන්න පියවර ගත්තා. නමුත් එය ප්‍රමාණවත් නෑ. හෙට මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. මේ මහා මැතිවරණයේ දී තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පත් කර ගත යුතුයි. එතකොටයි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා මේ රට පත් කර ඇති උගුලෙන් රට බේරා ගත හැකි පරිදි ව්‍යවස්ථා සංශෝධනයකට යා හැක්කේ.
පසුගිය ජනාධිපතිවරණයේ දී TNA එක රිෂාඩ් බදුර්දීන්ලා උදව් කරේ සජිත්ට. සජිත් මෙවර තරග කරන්නේ ඒ අයව එකතු කරගෙන. නමුත් අන්තවාදී දෙමළ මුස්ලිම් පක්ෂ සමග අපි කිසිම ඇයි හොදයියක් නෑ. අපි රට පාවා දෙන කිසිවෙකු සමග කිසිම මොහොතක බලය වෙනුවෙන් එකතු වෙන්නේ නෑ. අපි පසුගිය මැතිවරණ වලට වගේම මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේත් පොදුජන පෙරමුණෙන්, පොහොට්ටුව ලකුණින්. දැන් පොහොට්ටුවට පෙරේතයෝ, කුම්භාණ්ඩයෝ එනවා. ඒ නිසා ජනතාව මේ මැතිවරණයේ දී ඉතා කල්පනාවෙන් වැඩ කළ යුතුයි.”