එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය හේතුවෙන් ධීවරයන්ට එම මුහුද ආශ්රිත ප්‍රදේශයේ ධීවර කටයුතු නොකරන ලෙස රජය දැනුම් දී ඇති බැවින්, මීගමු ධීවරයන් කබලෙන් ලිපට වැටී ඇති බව ‘මීගමුව පුරවැසි එකමුතුව’ සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ පර්ල් නෞකාවෙන් සාගරයට, සාගර ජීවීන්ට සහ මිනිස් ජීවිතවලටද විශාල හානියක් සිදුකර ඇති බවයි. මේ සඳහා රජය ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග රැසක් පිළිබඳවද ඔවුන් අවධාරණය කරයි. ඒවා නම්,
- මෙම විනාශය හේතුවෙන් එදිනෙදා ජීවන වෘත්තියේ නිරත වීමට නොහැකි, ආදායම් අහිමිව පීඩාවට පත් වී සිටින ධීවර ප්‍රජාවට අවශ්‍ය සහන ලබාදීමට වහාම පියවර ගැනීම.
- පරිසරයට සිදුව ඇති හානිය පිළිබඳව සත්‍ය හෙළිදරව් කිරීමට ඉක්මනින් පියවර ගැනීම.
- ශ්‍රී ලංකාව තුළ පවතින පහසුකම් හා සම්පත් ප්‍රමාණවත් නොවන්නේ නම් ජාත්‍යන්තර සහය ලබාගනිමින් සිදුවෙමින් පවතින සාගර හානිය නතර කිරීමට කටයුතු කිරීම.
- මුහුදු තීරය ඔස්සේ පැතිරෙමින් තිබෙන විනාශකාරී අපද්‍රව්‍ය මීගමු කලපුවට සහ මුහුදට සම්බන්ධව ඇති නොයෙකුත් මිරිදිය ජලාශ, ගංගා සහ ඇළ මාර්ගවලට කාන්දු වීම වැළැක්වීමට කටයුතු කිරීම.
- විද්‍යාත්මක පදනමක් මත ඇති වී ඇති පාරිසරික, ආර්ථික සහ සාමාජීය විනාශය පිළිබඳව අධ්‍යයනය කර හානිය අවම කිරීමට පියවර ගැනීම සහ මෙම තත්ත්වයට සෘජුව හෝ වක්‍රව වග කිවයුතු ඕනෑම කණ්ඩායමකින් හෝ පුද්ගලයන්ගෙන් වන්දි අයකර ගැනීමට කටයුතු කිරීම.
- මේ වනතෙක් ශ්‍රී ලංකා රජය වගකීමෙන් බැඳී නොමැති සාගරය හා බැඳුණු සාගර සම්මුති පිළිබඳව අධ්‍යයනයක නිරත වී එම සම්මුති අපරානුමත කිරීම සහ ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සැකසීම.
- ඉදිරියේදී ඇතිවිය හැකි මෙවැනි අනතුරු පිළිබඳ නිසි අධ්‍යයනයක් තුළින් එම අනතුරු වළක්වා ගැනීමට සහ ඇතිවිය හැකි විනාශය අවම කර ගැනීමට සුදුසු යාන්ත්‍රණයක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
- මෙම බහාලුම් පැටවූ නෞකාවේ පැවති අවදානම පිළිබඳව අවධානය යොමු නොකර හා අවදානම වළක්වාලීමට නිසි යාන්ත්‍රණයක් හා ධාරිතාවයක් නොමැතිව එය ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට අවසරය ලබාදීම පිළිබඳව ස්වාධීන පුළුල් පරීක්ෂණයක් පවත්වා, මේ සඳහා වග කිවයුතු සියලුම පාර්ශ්ව සහ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ඒම.