එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත් කළ එම නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ තවත් අධ්‍යක්ෂවරයෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
අදාල සමාගමේ තවත් අධ්යක්ෂවරයකු වන පණ්ඩුල වීරසේකර මහතා අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවට ඉදිරිපත් කළේය.
මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කියාසිටියේ සැකකරු නඩුවේ සිව්වන සැකකරු ලෙස නම් කර ඇති අතර එම පුද්ගලයා සැකකරුවකු වශයෙන් නම් කිරීම සඳහා ඔහුට එරෙහිව ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බවයි.
අදාළ සැකකරු ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ ඉල්ලා තිබේ.
එහිදි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කියාසිටියේ සැකකරු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සැකකරුට එරෙහිව ප්‍රමාණවත් කරුණු ඉදිරිපත්ව ඇති බැවින් ඔහු නඩුවේ සිවුවන සැකකරු ලෙස නම් කරන බවට නියෝග කර තිබේ.
අනතුරුව සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ විනිසුරුවරයා එම ඇපකරුවන්ගෙන් එක් අයෙකු සැකකරුගේ ළඟම ඥාතියෙකු නොවිය යුතු බව සඳහන් කර ඇත.
එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර ඒ පිළිබඳ ආගමන හා විගමන පාලක, ශ්‍රී ලංකාවේ සියලුම ගුවන් තොටුපොළ හා වරායන් වෙත දැනුම්දෙන ලෙස මෙන්ම සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය ද අධිකරණයට භාරදිය යුතු බවට විනිසුරුවරයා නියෝග කර තිබේ.