තම දෙදින අසනීප නිවාඩු වාර්තා කිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට (11දා) අවසන් කළත් තම වෘත්තීය ඉල්ලීම් වෙනුවෙන් ඉදිරි සතියේදී විසඳුම් නොලැබුණ හොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයේ ලේකම් එස්.ආර්.ද සිල්වා මහතා ‘අද’ පුවත්පතට පැවැසීය.
එසේම හෙට දිනයේදී තම සංගමයේ සියලුම සාමාජිකයන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවත් එහිදී සංදේශයක් භාරදීමට නියමිත බවත් ලේකම්වරයා පවසයි.
තම සංගමයේ සාමාජිකයන්ට බලපා ඇති වෘත්තීමය ගැටලු සඳහා රජයෙන් මේ දක්වා නිසි පිළිතුරක් නොලැබුණ හෙයින් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූ බවත් ලේකම්වරයා සඳහන් කළේය.
දිසාපතිවරුන්/දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්ට දේශපාලඥයින් විසින් සිදුකරන පදනම් විරහිත චෝදනා, වැටුප් හා දීමනා විෂමතා, ප්‍රවාහන දීමනා විෂමතා, අනුමත තනතුරුවලට විශ්‍රාමික නිලධාරීන් සේවයේ යෙදවීම, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් තිබියදී නිසි පරිදි එම පුරප්පාඩු පිරවීමට කටයුතු නොකිරීම යන ඉල්ලීම් මුල්කර ගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරයි.