ප්‍රථම වරට පිල් මාරු කළ ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතිහාසයට එක්ව ඇතැයි ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා පැවසීය. එක්සත් ජාතික පෙරමුණ විසින් කොළඹ නව නගර ශාලාවේදී ඊයේ (04දා) සංවිධානය කරන ලද ජනහමුවකට එක් වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර සිටියේය.
තමන්ට දුන් ජනවරමට එරෙහිව පැත්ත මාරු කිරීම හේතුවෙන් ජනාධිපතිවරයා හට තවදුරටත් ජන වරමක් නොමැති බවට එහිදී පෙන්වා දුන් රණවක මහතා ඒ අනුව එළඹෙන ජනවාරි 8 වැනිදා නීත්‍යනුකූලව ලැබෙන හැකියාවෙන් වහාම ජනාධිපතිවරණය කැඳවා හැකිනම් ජයග්‍රහණය කර පෙන්වන ලෙසට තමන් සිරිසේන මහතාට අභියෝග කරන බවද පැවසීය.
රැස්ව සිටි ජනතාව අමතමින් එහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ඒ මහතා, " අවසාන වශයෙන් ඉතාම ලැජ්ජා සහගත දෙයක් තියෙනවා ඉතාම කෙටියෙන් කියන්න, ඒ තමයි අපේ රටේ දේශපාලන ඉතිහාසයේ ප්‍රාදේශීය සභා, නගර සභා පළාත් සභා මන්ත්‍රීවරු පිල් මාරු කරලා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිල් මාරු කරලා තිබෙනවා. නමුත් රටේ පළමු වතාවට ජනාධිපතිවරයෙකු පිල් මාරු කළේ මේ අවස්ථාවේදීයි. ජනාධිපතිවරයෙකු පැත්ත මාරු කෙළ් මේ අවස්ථාවේදීයි.
ඒ නිසා අපි බොහොම කාරුණිකව ජනාධිපතිතුමාට කියනවා, තමන්ට දුන්න ජනවරමට එරෙහිව ඔබතුමා පැත්ත මාරු කළ නිසා ඔබට දැන් තවදුරටත් ජනවරමක් නැහැ. ඒ නිසා ලබන ජනවාරි 8 වැනිදා නීත්‍යනුකූලව ලැබෙන හැකියාවෙන් වහාම ජනාධිපතිවරණය කැඳවන ලෙස. මොකද පිල් මාරු කරලා රටේ ජනාධිපතිකම කරගෙන යෑමට නොවෙයි ඔහුට ජනතාව ජනවරම ලබා දුන්නේ" යැයිද පවසා සිටියේය.
රට තුළ උද්ගතව ඇති දේශපාලන තත්ත්වය පිළිබඳ පාක්ෂිකයන් දැනුවත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ විසින් මෙම ජනහමුව කැඳවා තිබූ අතර එහිදී මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් සිය අදහස් දක්වා සිටියහ. අනතුරුව 'ප්රජාතන්ත්රවාදය සුරකිමු, ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කැප වෙමු' යන තේමාවෙන් ප්‍රතිඥාවක්ද ලබාදී මහා සංඝරත්නයද පෙරටු කර ගනිමින් නව නගර ශාලාවේ සිට අරලියගහ මන්දිරය දක්වා පා ගමනක්ද සංවිධානය කර තිබිණි.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා,
"එදා මෛත්‍රීට පක්ෂව අපි සටන පටන් ගත්තේ මේ නව නගර ශාලාවෙන්. අද මෛත්‍රී ගෙදර යවන්න පටන් ගන්නෙත් මේ නව නගර ශාලාවෙන්. ඊයේ පෙරේදා දිවුරුම් දීපු ඇමතිලා දෙන්නෙක් මේ පැත්තට එන්න දැනටමත් අපිට දැනුම් දී ඉවරයි. ගම ඇතුළෙ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වුණොත් විතරයි මේ අය බය වෙන්නේ. රෑ වැටුණු වළේ අපි දවල් වැටෙන්නේ නෑ. මේ දවස් ටිකේම අරලියගහ මන්දිරය රැක්කේ සංස්ථාවලට පත් කරපු අධ්යක්ෂවරුවත් සභාපතිලාවත් නොවේ. ඒක නායකයන්ට තේරෙන්නේ නෑ. ඉදිරියේදී තේරෙයිද දන්නෙත් නෑ. අපි නැවත බලයට පත් වුණාම යූ.එන්.පී. කාරයන්ට සමෘද්ධිය දුන්නේ නැත්නම් අපි ඉඳලා තේරුමකුත් නෑ" යැයිද පවසා සිටියේය.