කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ සහන කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පුද්ගලික අංශයේ සේවයකයන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සේවා යෝජකයන්, සේවක වෘත්තීය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්‍යාංශය හා කම්කරු දෙපාර්තමේන්තුවේ සහභාගිත්වයෙන් පිහිටුවා ඇති කාර්යසාධක බලකා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
සේවකයන්ගේ රැකියා අහිමි නොකරන පවත්වා ගැනීම, සෑම සේවකයෙකුටම සේවය කිරීමට හැකිවන අයුරින් සමානුපාතිකව අවස්ථාව ලබාදීම, සේවකයන් නිවෙස්වල රැදී සිටිය යුතු වන්නේ නම් අවසානවරට සම්පූර්ණ වැටුප ගෙවන ලද මාසික වැටුවෙන් සියයට 50ක් හෝ රුපියල් 14500ක යන විකල්ප දෙක අතරින් වඩා වාසිදායක මුදල ලබාදීම හා එම වැටුප සඳහා සේවා යෝජක විසින් සේවක අර්ථසාධක අරමුදලට හා භාරකාර අරමුදලට දායක මුදල් ගෙවීමටද මෙහිදී එකඟ වී තිබේ.
මේ අනුව එම සහනය 2021 මාර්තු අවසානය දක්වා දීර්ඝ කිරීමට කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.