ලිස්බන් ෂිංහුවා - පෘතුගාලයේ ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ද සූසා සති දෙකක කාලයක් ඔහුගේ පෞද්ගලික නිවසේදී නිරෝධායනය කරනු ඇතැයි පෘතුගාල ජනාධිපති නිල වෙබ් අඩවිය නිවේදනය කරයි.
පසුගිය අඟහරුවාදා ජනාධිපතිවරයා උතුරු පෘතුගාලයේ පාසලක සිසුන් අතර හමුවක් පවත්වා ඇති අතර එහිදී ජනපතිවරයා සිසුන් සමග සමීපව කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් පසුගිය සෙනසුරාදා එම සිසුන් අතරින් එක් සිසුවෙකුට COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මේ අනුව පාසල වසා දමා ඇති අතර ජනපතිවරයාද නිරෝධානයට ලක්විය යුතු බවට සෞඛ්‍ය බලධාරීන් කළ යෝජනාව ඔහු පිළිගෙන තිබේ.
"සෞඛ්‍ය බලධාරීන්ට ඇහුම්කන් දුන් ජනාධිපතිවරයා කිසිදු වෛරස් රෝග ලක්ෂණයක් නොතිබුණද, ඔහුගේ සියලු පොදු කටයුතු ඉදිරි සති දෙකක කාලයක් සඳහා අවලංගු කිරීමට තීරණය කළා" එම වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.
පෘතුගාලය තුළ මේ වන විට කොවිඩ් යැයි තහවුරු කළ රෝගීන් 30ක් වාර්තා වෙයි.