2019 වසරේ පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද (17)) ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්වූණා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහ අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ පුංචි දරුවන් ඊතල මෙන් ක්‍රියාකරන විට ගුරුවරුන්, මව්පියන් ඇතුළු වැඩිහිටියන් දුන්නක් මෙන් ක්‍රියාකොට ඔවුන් නිවරැදි ලෙස ඉලක්ක ගත කිරීමට ක්‍රියාකළ යුතු බවයි.
රටක අනාගත ඉරණම අධ්‍යාපනය මත ගොඩ නැංවෙන බැවින් නිදහස් නිවහල් පුරවැසියෙකු තැනීමේ කාර්යභාර්ය වෙනුවෙන් වත්මන් රජය විශාල දායකත්වයක් සිදු කරමින් සිටින බව ද සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇති ළඟම පාසල හොඳම පාසල, ශිෂ්‍ය උපදේශනය, ගුරු පුහුණු වැඩසටහන් සහ නව තාක්ෂණය සමඟ අධ්‍යාපන නව්‍යකරණය කිරීමේ ව්‍යාපෘතීන් පිළිබඳව ද සිහිපත් කළේය.
දරුවන්ගේ ළමා කාළයේ සුන්දරත්වය පවා ඔවුන්ට අහිමි කරමින් අද වනවිට ඇතැම් දරුවන් පරීක්ෂණාගාරවල රොබෝවන් බවට පත් කර ඇති බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා 5 වසර ශිෂ්‍යත්ව විභාගය වැනි අති ධාවනකාර විභාග හේතුවෙන් දරුවන්ට සිදුවන බලපෑම පාලනය සඳහා ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව ද සඳහන් කළේය.
පාසල් අවධියේම දරුවන් රුක්රෝපණය සඳහා නැඹුරුවීමේ ආකල්පමය වර්ධනයක් ඇතිකරලීමේ අරමුණින් “එකට වවමු එකට වැඩෙමු” රුක් රෝපණ වැඩසටහන ද ආරම්භ කෙරුණි.