පකිස්ථානයෙන් සහ ඇෆ්ගනිස්ථානයේ සිට මෙරටට ආ සරණාගතයින්ගෙන් පිරිසක් ජීවිතාරක්ෂාව වෙනුවෙන් පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරට රැගෙනවිත් ඇති බවටත් එම පිරිස් ඉතා සුළු කාලයකින් නැවත හිටපු රටටම හෝ තුන්වන රටකට යැවීමට රජය පියවර ගනිමින් සිටින බවට පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් ජානක රත්නායක මහතා පවසයි.
පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා මේ බව කියා සිටියේ අද (22) පූන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට ස්වයං රැකියා වෙනුවෙන් ආධාර ලබා දීමේ වැඩසටහනකට සම්බන්ධ වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
එහිදී පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් වැඩිදුරටත් කියා සිටියේ,
“මේ පකිස්ථානයෙන් සහ ඇෆ්ගනිස්ථානයෙන් ලංකාවට ආ සරණාගතයින් සම්බන්ධයෙන් වගකීම තිබෙන්නේ රජයට. එතකෙට රජය විසින් තීරණයක් අරන් තියනවා එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ වූ කාර්යලාය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා ඒ අය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්න දැනට වවුනියාව පූන්තොට්ටම පුනරුත්ථාපන කඳවුරට පකිස්ථානයෙන් හා ඇෆ්ගනිස්ථානයෙන් ආ සරණාගතයින් පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු පමණ ගෙනවිත් තිබෙනවා.
මේ අය මීට පෙර හිටියේ මීගමුව පොලිස් බල ප්‍රදේශයේ. නමුත් පසුගිය කාලයේ ඇති වූ තත්ත්වයත් එක්ක ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මේ පිරිස් මීගමුව පොලීසිය වෙතට ගියාට පසුව තමයි අපි මේ අය රජයෙන් සහ එක්සත් ජාතීන්ගේ කාර්යාල නියෝජිතයින් හරහා වවුනියාවට රැගෙන ආවේ.
නමුත් මේ සරණාගතයින් ගෙනාවේ පුනරුත්ථාපනය කිරීමට නොවෙයි. ජීවිත ආරක්ෂාව සඳහා මේ අය උපරිම වුණොත් තවත් මාසයක් දෙකක් මෙහේඉඳියි. ඉන්පසුව මේ අය නැවත ඒ අයගේ රටට හෝ පුරවැසිභාවය ලබාගෙන තුන්වන රටකට යැවීමට රජය පියවර ගනියි කියල විශ්වාශ කරනවා” යනුවෙන් පැවසිය.