වසර 43ක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ජනතාව වෙනුවෙන් ලබාදී තිබු කැබිනට් අමාත්‍යධුරය මෙරව නව රජයෙන් ඉවත් කිරීම පිළිබඳව කනගාටු වෙන බවත්, උඩරට වතුකරයේ ජනතාවට අඩු සැලකීමක් දැක්වීමක් ලෙස එය හැගෙන බැවින් එම තත්ත්වය නැති කිරීමට ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ඉදිරියේදි කටයුතු කරනු ඇති බවට තමන් සිතන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවසීය.
තලවකැලේ නගරයේදි මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ කීය.
එහෙදී තවදුරටත් අදහස් දැක්වු රාධාක්‍රිෂ්ණන් මහතා,
19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට නව රජය කටයුතු කළහොත් ඊට විරුද්ධව කටයුතු කරනවා. පසුගිය යහපාලන රජය විසින් ගෙන එන ලැබු එම සංශෝධනය විශාල බලාපොරොත්තුවක් ඇතිව ආණ්ඩු දෙකක් විසින් සිදු කරන ලද්දක්. නමුත් තුනෙන් දෙකක බලයක් නව රජයට තිබෙන නිසා ඒක වෙනස් කරන්න ඔවුන්ට අවශ්‍ය නම් දැන් පුළුවන්. එම වෙනස් කිරීම ලංකාව වැනි රටකකට හොදයිද නැද්ද යන්න පිළිබඳව සිතිය යුතුයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිංහල දෙමල කියා භේදයක් නැහැ. සියලුම දෙනා එක මවකගේ දරුවන් වගෙයි මෙහි ජීවත්ව ඉන්නේ. මෙරට මහ මැතිවරණයේදී සිංහල අයත් දෙමළ අපේක්ෂකයන්ට ඡන්දය ලබා දුන්නා. පෙර පරිදිම කුමන පක්ෂයකින් හෝ ද්‍රවිඩ මන්ත්‍රීවරුන් පස් දෙනාත් සිංහ මන්ත්‍රීවරුන් තුන්දෙනාත් නුවරඑළියට මෙවරත් ලැබී තිබෙනවා.
සමගි ජන බලවේගය පක්ෂය මාස දෙකක් වැනි වයස කුඩා පක්ෂයක්. එම පක්ෂය අපි රැකගත යුතුයි. ඉදිරියේදි අපි මෙම පක්ෂය හොදට ගෙන යා යුතුයි. එය ආරක්ෂා කර ගත යුතුයි. ඉදිරි මැතිවරණවලදී තරග කරන්න අපිට පක්ෂයක් අවශ්‍යයි. ඒ නිසා අපි මේ පක්ෂය ඉදිරිටත් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා යයි පැවසීය.
