පේරාදෙණිය පොලිස් වසමේ නිල්අඹ ජලාශ වේල්ල ආසන්නයේ මහවැලි ගඟේ දිය නෑමට ගිය පුද්ගලයන් පස් දෙනකු අතරෙන් වයස අවුරුදු 02 ක් වයසැති ගැහැණු දරුවෙකු ඇතුළු තිදෙනෙකු දියේ ගිලී මියගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය කියයි .
මහනුවර පූර්ණ වත්ත මාපනාවතුර පැසේජ් ප්රදේශයේ සිට පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (05) සවස දිය නෑමට පැමිණ ඇති අතර මහවැලි ගඟේ ජල මට්ටම එක්වරම වැඩිවීම හේතුවෙන් එම පස්දෙනාම දියේ ගිලී ඇති අතර එම අනතුරින් දිවි බේරා ගත් දෙදෙනෙකු මේ වන විට ගම්පොළ මූලික රෝහලේ ප්රතිකාර ලබමින් පසුවන බව පොලිසිය කියයි .
දියේ ගිලීමෙන් මියගිය මොහොමඩ් නසාර් ෆාතිමා අස්රා (20) නමැති කාන්තාවගේ සහ ඇයගේ කුඩා දියණිය වන ෆාතිමා අලියා සියා උල් සිරස් (02) නමැති බිළිඳියගේ දේහයන් අද (06) පෙරවරුව වන තුරුත් හමුවේ නොතිබූ අතර නාවික හමුදාව සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකය මැදිහත්ව එම මළ සිරුරු සොයා විමර්ශන සිදු කෙරෙමින් පැවතුනි .
දියේ ගිලීමෙන් මියගිය මොහොමඩ් ෆාරිස් මොහොමඩ් රස්ෆාන් (20) යන අයගේ මෘත දේහය ගම්පොළ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබේ .
සහකාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතාගේ උපදෙස් පරිදි පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක විජිත විජේකෝන් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ .
ෂේන් සෙනෙවිරත්න