නිසි වේලාවට විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ක්‍රමවේදයක් කඩිනමින් සකසන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් පැවසීය.
නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය වෙනුවෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පළමු වරට ඊයේ (23) රැස් වූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීවේය .
මාසයක් ඇතුළත විශ්‍රාම ලබා ගන්නා රාජ්‍ය නිලධාරින්ගේ සංඛ්‍යාව පිළිබඳ දත්ත රැස්කර තබා ගන්නා ලෙස කාරක සභාව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය. විශ්‍රාම වැටුප් අහිමි වීමට බලපාන කාරණා නැවත සමාලෝචනය කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේ දී සාකච්ජා විය.
රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා නිලධාරින්ගේ සේවය නැවත රාජ්‍ය සේවයට ලබා ගැනීම සම්බන්ධව ද කාරක සභාවේ අවධානය යොමු විය.
කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් විමසා ඇති බව රාජ්‍ය අමාත්‍ය රියර් අඩ්මිරාල් සරත් වීරසේකර මහතා කාරක සභාවට දැනුම් දුන්නේය. එම මැතිවරණය පවත්වන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයට ද, මිශ්‍ර සමානුපාතික ක්‍රමයට ද යන්න පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස් විමසා තිබේ.
සීමා නිර්ණන කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා ක්‍රියා කරන බවත් , ඒ සඳහා 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ වෙනම කොමිසන් සභාවක් පිහිටුවන බවත් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කාරක සභාවේදී පැවසීය.