නුවරඑළිය මහරෝහලේ අක්ෂි රෝග සායනය සඳහා ලබා දී ඇති එන්නත් තොගය තාවකාලිකව භාවිත කිරීමෙන් වළකින ලෙසට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් රෝහල් අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතාට දැනුම් දී ඇත.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ නුවරඑළිය මහ රෝහලේ අක්ෂි රෝග සායනයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් 17 දෙනෙකු විවිධ සංකූලතාවලට ලක්වූ බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ලබා දී ඇති උපදෙස් මත සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මෙම දැනුම් දීම කර ඇති බවයි.
ඒ අනුව අදාළ එන්නත වැඩිදුර පරීක්ෂණ සඳහා ජාතික ඖෂධ තත්ත්ව පරීක්ෂණාගාරයට යොමු කෙරෙනු ඇති බවද අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
නුවරඑළිය මහ රෝහලේ අදාළ අක්ෂි සායනයට පසුගියදා රෝගීන් 55ක් පැමිණ ඇති අතර, ඔවුන්ගෙන් 17 දෙනෙකු මෙම සංකූලතාවලට ගොදුරු වූ බව ප්‍රකාශ කරමින් නැවත රෝහල්ගත වී තිබිණි. එහිදී එම රෝගීන්ට යළි ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත් ඒ අනුව ඔවුන් මේ වනවිට සුව අතට හැරෙමින් සිටින බවත් අමාත්‍යාංශය සඳහන් කරයි. අමාත්‍යාංශය වැඩිදුරටත් පෙනවා දෙන්නේ අදාළ එන්නත භාවිත කළ වෙනත් රෝහල්වල අක්ෂි සායන තුළින් මෙවැනි ගැටලුවක් වාර්තා නොවූ බවයි.