රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදී ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව තමන් සිදුකළ ප්‍රකාශ අත්වැරදීමකින් වූවක් යැයි නවීන් දිසානායක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, තම ස්ථාවරය තේරුම් නොගෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ඊයේ (22දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධව රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට විරුද්ධව බරපතළ චෝදනා එල්ල වී තිබෙන බවත්, අන්තවාදය වර්ධනය වීම වැළැක්වීම සඳහා සියලු දෙනාට වගකීමක් තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය 300ක් පමණ වන ජනතාවට සාධාරණයක් ඉටු විය යුතු බවත්, ඒ සඳහා පාර්ලිමේන්තුවට වගකීමක් තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
"නවීන් දිසානායක ඇමතිවරයා ප්‍රකාශයක් කරලා තියෙනවා මම අත්වැරදීමකින් විශ්වාසභංගය ගැන කිව්වා කියලා. නමුත් එහෙම නෑ. මම හොඳට කල්පනා කරලා තමයි අදහස් ඉදිරිපත් කළේ.
අපි නියෝජනය කරන ජනතාව වෙනුවෙන් හෘදසාක්ෂියට අනුව සාධාරණයක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලනවා. මේ 225 දෙනාම මේක දේශපාලන පොරපිටියක් කරගෙන බව පේනවා. ඒ නිසා තමයි ජනතාව ඉල්ලන්නේ 225 දෙනාම එළවන්න ඕන කියලා. පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕන කියනවා. මේක වටලන්න ඕන කියන්නෙත් සිස්ටම් එක වැඩ කරන්නෙ නැති නිසා.
ලංකාවේ වැසියන් සිය ගණනක් මැරිලා ඉන්න නිසා අපි සාධාරණයක් කරන්න ඕන. නැත්නම් ජනතාව අපි සියලු දෙනා පන්නලා දමන දිනය ඉතාම ළඟයි. මාගේ ස්ථාවරයේ කිසිම වෙනසක් නෑ. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට බරපතළ චෝදනා එල්ල වෙලා තිබෙනවා. ඒක සාධාරණ ලෙස හොයා බලා කළ යුතුයි. මේ රටේ අන්තවාදීන් වර්ධනය වෙන එක වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු දෙනාම එකතු වෙලා වැඩ කරන්න ඕන" යනුවෙන් පවසා සිටියේය.