දැයේ දරුවන්ගේ සුවහසක් අනාගත අපේක්ෂාවන් අධ්‍යාපනය තුළින් ඉටුකරලීම සඳහා “ළඟම පාසල හොඳම පාසල” බවට පත් කරන්නට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ගනු ලබන විවිධ පියවර අතර තවත් එක් සුවිශේෂී අවස්ථාවක් ලෙස නව ත්‍රෛභාෂා පාසලක් ඉදි කිරිමට මුල්ගල තැබිම සැප්තැම්බර් මස 20 වැනි දින මීරිගම දී සිදු කෙරේ.
කථානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම මත ඉදිකෙරෙන මෙම පාසල සඳහා මුල්ගල තැබීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරිමට නියමිතයි.
නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මහතාට ගෞරවයක් ලෙස දොන් ස්ටීවන් විද්‍යාලය නමින් මෙම පාසල නම් කෙරෙන අතර මෙය අයත් වන්නේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයටය.
“ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ ඉදි කරන ශ්‍රී ලංකාවේ දෙවැනි ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත මිශ්‍ර පාසල වන මේ සඳහා ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 1,141 කි.
අක්කර 12ක භූමි භාගයක ඉදිවන මෙම පාසල වර්ෂ 2020 දී සිසු අයිතියට පැවරීමට යෝජිතය.
මෙහි 6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වීමට නියමිත අතර සුහුරු පන්ති කාමර ඇතුළු නවීන පහසුකම්වලින් මෙම පාසල සමන්විතවිම විශේෂත්වයකි.