තම සහෝදරයා 2019 ජනපතිවරණය සඳහා තරග වැදීමට සුදුස්සෙක් වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එයට සම්බන්ධ පක්ෂයන් ජනතාව ඉල්ලන්නේ කවුරුන්දැයි යන්න තීරණය කරනු ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඉන්දියාවේ දේශණයක් පැවැත්වීම සඳහා ඉන්දීය සංචාරයකට එක්ව සිටින හිටපු ජනපතිවරයා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එසේම සිය වැඩිමහල් පුතා වන නාමල් රාජපක්ෂ මහතාට 2019 ජනපතිවරණය සඳහා තරග කිරීමට නීතිමය වශයෙන් හැකියාවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
“අවම වයස අවුරුදු 30 සිට 35 දක්වා වැඩිකර ඇති හෙයින් (ජනපතිවරණය තරග කිරීමට) මගේ පුතාට (නාමල් රාජපක්ෂ) අපෙක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්න බෑ. මගේ සහෝදරයාට ඇත්තටම තරග කළ හැකියි. නමුත් පක්ෂය හා එයට සම්බන්ධ පාර්ශ්ව තීරණය කරාවි ජනතාව ඉල්ලන්නේ කවුරුන්ද කියා.”
කෙසේ වෙතත් මැතිවරණ ව්‍යාපාරය තමන් මෙහෙයවන බවත් මහින්ද රාජපක්ෂ මහතා පවසයි. “ මම පොදුජන පෙරමුණට නායකත්වය දෙනවා. ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවුණත් මට තරග කළ හැකි බවත් මතයක් තිබෙනවා. ඒ පිළිබඳව උසාවියේදී සටන් කරාවි. නමුත් මේ අවධානම ගන්නවද කියලා මම තවම තීරණය කර නෑ.” යැයි ඔහු සඳහන් කරයි.
එසේම ඉදිරි මැතිවරණ සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ව තරග කළත් ඔවුන්ට ජයගැනීමට හැකි වෙතැයි තමන් නොසිතන බවත් හිටපු ජනපතිවරයා සඳහන් කරයි. එසේම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් සමග වැඩ කිරීමට සූදානම් නොමැති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.