නේපාලයේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටියදී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු , යළි ශ්‍රී ලංකාට ගෙන්වා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (24දා) උදෑසන නේපාලය බලා පිටත්ව ගියේය. මෙම ගුවන් යානය තුළ , ගුවන් නියමුවන් ඇතුළු ගුවන් යානා කාර්යය මණ්ඩලයේ 08 දෙනෙකු සිටියහ. මෙම ගුවන් යානය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.05 ට කත්මණ්ඩු නුවර ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වන අතර , එය සවස 4.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය.
එමෙන්ම සාර්ක් කළාපයේ රටවල උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් , යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව සිටින සිසුන් මෙරටට රැගෙන ඒම සදහා තවත් ගුවන් ගමන් රාශියක් සංවිධානය කිරීමට කටයුතු කරමින් සිටින බව ද ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය.
ඒ අනුව 4/25 දින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1144 දරන ගුවන් යානය ඉන්දියාවේ මුම්බායි වෙතත් , 4/26 දින ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1193 දරන ගුවන් යානය ඉන්දියාවේ කොයිම්බතූර් වෙතත් , 4/27 දින බංග්ලාදේශයේ ඩකා ගුවන් තොටුපළ වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1190 දරන ගුවන් යානයත් ,4/28 දින යළිත් ඉන්දියාවේ බැංගලෝර් වෙත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1172 දරන ගුවන් යානයත් යොමු කිරීමට අවශ්‍ය කටයුතු එම රටවල සිවිල් ගුවන් සේවා අධිකාරී වලින් සහ එම රටවල බලධාරීන් සමග සාකච්ඡා කර සූදානම් කරමින් සිටින බවද ඔහු පැවසීය.