ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 76 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (24) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
මෙම ගුවන් යානය ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු ශ්‍රී ලංකාවට රැගෙන ඒම සදහා පිටත්ව ගිය ද , එයින් සිසුන් 17 දෙනෙකු සූදානම් වී නොසිටීම නිසා , මෙම සිසුන් පිරිස පමණක් රැගෙන මෙම ගුවන් යානය පැමිණ තිබුණි .
මෙම සිසුන් නේපාලයේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි අතර , හදිසියේම කොවිඩ් - 19 වසංගත රෝගය පැතිර යාමත් සමග ඔවුන්ට මෙරටට පැමිණීමට නොහැකි වී තිබුණි .
ඔවුන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1425 දරන ගුවන් යානයෙන් අද දින සවස 3.30 ට නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ගුවන් යානයෙන් බැස ගත් සියලුම සිසුන් සහ ඔවුන් රැගෙන ආ ගමන් මලු සියල්ල ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විෂබීජහරණය කිරීමකට ලක් කෙරුණි .
ඉන්පසුව ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ල තුළට පැමිණි මෙම සිසුන්ට කොවිඩ් රෝග ලක්ෂණ තිබේදැයි ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් පරීක්ෂා කර බැලීම ද සිදු කෙරුණි .
මෙම සියලු පරීක්ෂණ නිමා කිරීමෙන් පසුව , මෙම සිසුන් නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත ශ්‍රී ලංකා යුද හමුදාව විසින් , විශේෂ බස් රථ මගින් රැගෙන යනු ලැබීය .