ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා නැවත පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළහොත්, 25 වැනිදා සිට සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සඳහන් කරයි.
23 වැනිදා කැබිනට් මණ්ඩලය සභාපති තනතුරට හිටපු සභාපති එම්.ජී.ඒ. හේමචන්ද්‍ර මහතා පත් කළහොත් බස්රථ වැඩවර්ජනයක් පවා සිදු විය හැකි බව ගාල්ල බස් සමාගම් සඳහන් කරයි.
වසර තුනක නිලකාලය මේ මස 08 වැනිදායින් අවසන් වූ බවත්, ඔහුගේ නිලකාලය තුළ බස් රථ සේවය දියුණු කිරීමට කිසිවක් සිදු නොකළ බවත් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් ශාඛාවේ ලේකම් සමන්ත රත්නායක මහතා සඳහන් කළේය.
74 හැවිරිදි හිටපු සභාපතිවරයා නැවත පත් කිරීමට හැකියාවක් නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් ශාඛාව හා බස් හිමියන් එක්ව අද (21දා) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.