දියේ ගිලීමෙන් මරණයට පත්වූ බව කියන නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ මරණය සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසට පොලීසියට නියම කරන ලෙස ඉල්ලමින් කුරුණෑගල අධිකරණයේ නීතීඥවරයෙකු ලෙස කටයුතු කරන පියුමාල් හේරත් මහතා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් කර ඇත.
අදාළ පැමිණිල්ල පියුමාල් හේරත් මහතා ලියාපදිංචි තැපැලෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට තම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
නීතීඥ පියුමාල් හේරත් මහතා සඳහන් කරන්නේ නෙදර්ලන්ත හිමි නමගේ මරණය සිතා මතා කරන මිනීමැරුමක් වන බවය.
ගාල්ල රත්ගම දොඩන්දූව පොල්ගස්දූව ආරණ්‍යවාසී නෙදර්ලන්තයේ ජිනරතන හිමියන්ගේ අපවත් වීම සියදිවි හානි කර ගැනීමක් බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාරයන් විද්‍යානුකූල සාධක මත ප්‍රතික්ෂේප කරන බවද, එම සිදුවීම අනාවරණය කර ගැනීම සඳහා වෝහාරික වෛද්‍ය විද්‍යානුකූල පරීක්ෂණයක් සිදු කළ යුතු බවත්, වැඩිදුර පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දිය යුතු බවත් අදාළ පැමිණිල්ල මඟින් ප්‍රකාශ කරන පියුමාල් හේරත් මහතා එකී සිදුවීම මිනීමැරුමක් බවට සැක කරන ඊට අදාළව අවශ්‍ය වන වැඩිදුර තොරතුරු තමන්ට අධිකරණය හමුවට ඉදිරිපත් කළ හැකි බවද කියා සිටී.
මරණයට පත් හිමිනමගේ දේහය කලපුවේ තිබී සොයා ගන්නා ලද අවස්ථාවේදී එය අධික බරකින් යුත් යමක ගැට ගසා ගිල්වා ඇති බවට කරුණු වාර්තා වීමෙන්ම එය සැලසුම්සහගතව කළ මිනීමැරුමක් බවට පවතින සැකය කිසිසේත්ම බැහැර කළ නොහැකි බවද නීතීඥ හේරත් මහතා තම පැමිණිල්ල මඟින් අධිකරණයට දන්වා සිටියි.
මෙවැනි බොහෝ සියදිවි නසා ගැනීම් අභ්‍යන්තරයේ ඇත්තේ අප නොසිතන අභිරහස් බැවින් ඒ පිළිබඳව නිවැරැදි වෝහාරික වෛද්‍ය විද්‍යානුකූල පරීක්ෂණයක් සිදු කර ඒ අනුව අපරාධකරුවන් නීතිය හමුවට පැමිණවීම පුරවැසි අප සැමගේ වගකීම බවද පියුමාල් හේරත් මහතා තම පැමිණිල්ලෙහි සඳහන් කර ඇත.
එසේම මෙම මරණය සම්බන්ධව සත්‍යය තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා තමන් බෞද්ධාගමිකයෙකු වශයෙන් හැකි උපරිමයෙන් මැදිහත් වන බව ප්‍රකාශ කරන නීතීඥ පියුමාල් හේරත් මහතා මෙය කිසිසේත්ම සුළු කොට තැකිය නොහැකි සිදු වීමක් සේම මෙය රාජ්යතාන්ත්රිකවද ගත් කළ අතිශය බරපතළ සිදුවීමක් වන බැවින් ඒ සම්බන්ධයෙන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්තුමාගේ මැදිහත් වීම බලාපොරොත්තු වන බවද තම පැමිණිල්ල මඟින් කියා සිටියි.
තමන් සමඟ කල්පිටිය අන්තර් සාමුද්ධික පිරිවෙන් අධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන්ද මෙම මරණයේ අගතියට පත් පාර්ශ්ව වන බැවින් ඊට අදාළ නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍ය සියළුම සහාය අධිකරණයට ලබා දීමට සූදානමින් සිටින බවද පියුමාල් හේරත් මහතා ඔහුගේ පැමිණිල්ලෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ගීතාංජලී ප්‍රියදර්ශනී