ශ්රී ලංකා නාවික හමුදාව විසින් 2020 ඔක්තෝබර් 15 සිට 20 දින දක්වා සිදු කළ මෙහෙයුම් මගින් සහ පොලීසිය හා එක්ව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් හා තවත් නීතිවිරෝධී ක්රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් 38ක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
නැගෙනහිර නාවික විධානය විසින් බෝල්ඩර් තුඩුව, ෆවුල් තුඩුව, ගෝපාල්පුරම්, නයාරු යන ප්රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සහ කොටුවමඩ කලපු ප්රදේශයේ සිදුකල මෙහෙයුම් මගින් තහනම් දැල් භාවිතා කරමින්, නීතිවිරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකරමින් සහ විදුලි ආලෝක ධාරා යොදා ගනිමින් ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 28ක්, ධීවර යාත්රා 07ක්, තහනම් දැල් සහ තවත් ධීවර ආම්පන්න කිහිපයක් නාවික හමුදා භාරයට ගන්නා ලදි.
වයඹ නාවික විධානය විසින් උච්චමුනායි දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්රදේශයේදී නීතිවිරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකරමින් මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් 08ක්, ධීවර යාත්රා 02ක් සහ කිමිදුම් උපකරණ කිහිපයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.