රුපියල් කෝටියක් පමණ වටිනා හක් බෙල්ලන් 21,480 ක තොගයක් ඉන්දියාව වෙත අපනයනය කිරීම සදහා කොළඹ වරාය වෙත රැගෙන විත් තිබියදී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව , සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .
ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශය නිකුත් කර ඇති 2003 අංක 1298/1 දරන අති විශේෂ ගැසට් නිවේදනයට අනුව , විෂ්කම්භය මිලි මීටර් 70 ට අඩු හක් බෙල්ලන් කිසියම් පුද්ගලයෙකු සන්තකයෙහි තබා ගැනීම ,
මිලදී ගැනීම , විකිණීම සදහා ප්‍රදර්ශනය කිරීම , විකිණීම , ප්‍රවාහනය කිරීම හෝ අපනයනය කිරීම තහනම් වේ .
පුත්තලම ප්‍රදේශයේ අපනයනකරුවෙකු විසින් පවත්වා ගෙන යනු ලබන අපනයනය සමාගමක් විසින් ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ වලංගු අපනයන බලපත්‍රයක් සහිතව , ටර්බිනේල්ලා පයිරම්
(Turbinella Pyrum ) වර්ගයේ හක් බෙල්ලන් 20,000 ක් ඉන්දියාව වෙත අපනයනය කරන බව ප්‍රකාශ කරමින් අඩි 20 ක් දිග බහාලුමක් මේ මස එනම් 06/15 දින කොළඹ වරාය වෙත ගෙනැවිත් භාර දී තිබේ .
එහෙත් මේ පිළිබඳව රේගු නිලධාරීන් වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත , මෙම බහාලුම 06/21 සහ 06/22 දින විවෘත කර පරීක්ෂා කිරීමට ලක් කළ අතර , එහිදී මෙම අපනයනයකරු ඉදිරිපත් කර තිබූ බලපත්‍රයේ සදහන් හක් බෙල්ලන් 20,000 ඉක්මවා මෙම වර්ගයේ හක් බෙල්ලන් 33,680 ක් ඉතා සූක්ෂම ලෙස මෙම බහාලුම තුළ සගවා තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි .
එම හක් බෙල්ලන් අතරින් 21,480 ක් ම විෂ්කම්භය මිලි මීටර් 70 ට අඩු හක් බෙල්ලන් වූ අතර , රේගු නිලධාරීන් විසින් එම හක් බෙල්ලන් තොගය අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබුණි .
ශ්‍රී ලංකාවේ මේ දින වල ක්‍රියාත්මක වන සංචරණ සීමා කිරීම නිසා , මෙම අපනයනකරුට කොළඹ පැමිණීමට නොහැකි වී තිබෙන අතර , මෙම සිදුවීම පිළිබඳව කිසිවෙකුත් මේ දක්වා අත් අඩංගුවට ගෙන නොමැත .