රටේ තරුණ පරපුර මුහුණ දෙන නූතන අභියෝග, ඔවුන්ගේ අවශ්‍යතා සහ ඔවුන්ගේ ගැටලු හොඳින් අවබෝධ කර ගනිමින්, විශේෂයෙන්ම රාජ්‍ය නායකයා විසින් ස්වකීය ප්‍රතිපත්ති මාලාව තුළ, තරුණ පරපුර රටේ සංවර්ධනයට යොදා ගැනීම සම්බන්ධයෙන් ලබා දී ඇති ප්‍රමුඛතාව ද සැලකිල්ලට ගනිමින් තරුණ කටයුතු සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, මාතර දිස්ත්‍රික්කයේ ස්ථාපනය කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රථම යොවුන් උද්‍යානයේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (18) එක්වෙමිනි.
2013 වර්ෂයේ දී ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇති මෙම තරුණ උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු පසුගිය වසර 6ක් මුලුල්ලේ නතර වී තිබූ අතර, අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ විශේෂ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තරුණ උද්‍යානය නවීකරණ කිරීමේ කටයුතු ආරම්භ කෙරිණි. එක් පසෙකින් නිල්වලා ගඟත්, අනෙක් පසින් ඉන්දියන් සාගරයත් මායිම් කරගනිමින් නිල්වලා තුරුණු උයන ලෙස මෙම තරුණ උද්‍යානය නම් කර ඇත.
මෙම තරුණ උද්‍යාන ඉදි කිරීමේ වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයට පමණක් සීමා නොවන බවත්, මේ වන විටත් තවත් දිස්ත්‍රික්ක 07ක තරුණ උද්‍යාන ඉදිකිරීමට පියවර ගෙන ඇති බවත් ඉදිරියේ දී සෑම දිස්ත්‍රික්කයකටම තරුණ උද්‍යානයක් බැගින් ලබා දීම තම අපේක්ෂාව බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රටේ තරුණ පරපුර මුහුණ දෙන නූතන අභියෝග ජය ගන්නටත්, තරුණ පරපුරේ ශක්තිය, ජවය රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ඵලදායී ලෙස යොදා ගන්නටත් රාජ්‍ය නායකයා විසින් ස්වකීය ප්‍රතිපත්ති මාලාවෙහි අවධාරණය කරන විශේෂ වැඩපිළිවෙළක් පවතින බවත් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ඉදිරියේ දී ඒ වෙනුවෙන් සියලු පියවර ගැනීමට තමා සූදානම් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.