රජයේ කාබනික වගාව සඳහා පරිසර හා සෞඛ්‍ය අමාත්‍යාංශවලින් සහාය නොලැබුණ බවට කෘෂිකර්ම ඇමති සඳහන් කර ඇති බවත් ඒය හරියට නටන්න බැරි මිනිහට පොළොව ඇදැයි වැනි ආකාරයේ කතාවක් බවත් පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
2022 නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සඳහා අද දින (03) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති නිලධාරි හමුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
“මම දැක්කා කෘෂිකර්ම ඇමැතිතුමා කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයවත් පරිසර අමාත්‍යාංශයවත් එයාගේ කාබනික වගාවට උදව් කළේ නැතිලු. ඕකට කියන්නේ නටන්න බැරි මිනිහට පොළව ඇදයි කියන එක තමයි. තමන්ට වැඩේ කරන්න බැරිව අසමත් වුනාම අනිත් අය ඒකට අල්ලනවා. අපි කාබනික වගාව පටන් ගත්තේ මීට අවුරුදු දෙකකට පමණ පෙර. මම කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් මගේ කුඹුරෙන් කාබනික වගාව ආරම්භ කළා.විශාල අස්වැන්නකුත් ලබා ගත්තා.
නමුත් දැන් කාබනික වගාවට නැවත ගොවි ජනතාව යොමු කරවා ගන්න එක පහසු නැහැ. මිනිස්සුන්ට ගොවිතැන තිත්ත කළා.
අනිත් එක තමයි ඒ කාලේ සමහර ආණ්ඩු කිව්වේ අපේ රටේ වගා කරනවාට වඩා පිටරටින් ගෙන්වන එක ලාභයි කියළයි. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ. සල්ලි දීලා ආහාර ගන්න පුලුවන්ද. පිටරටවල්වලත් මේ අර්බුදය මතු වී තිබෙනවා.
ඒ නිසා ලබන මාසේ සිටවත් මේ පෝළිම් නැතිව මිනිසුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව සැලසිය යුතුයි යන මතයේ ජනාධිපතිතුමාත් ඉන්නවා. මම හිතන්නේ ලබන මාසය වන විට ඒ සඳහා නව වැඩ පිළිවෙළක් ආරම්භ කරනවා. ඒ නිසා අපිට ගෑස් පොලීම්, කිරිපිටි පෝළිම්, ඇතුළු මේ පෝළිම්වල සිට බඩු ගන්න තත්ත්වය ලබන මාසයේ සිට වෙනස් වේවි.”