කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (29දා) තහවුරු වූ නිකවැරටිය වාසිවැව ප්‍රදේශයේ කාන්තාව එම ප්‍රදේශයේ විශාල පිරිසක් ඇසුරු කර ඇති බව අනාවරණය වීම හේතුවෙන් නිකවැරටිය පොලිස් කොට්ඨාසය තුළ ඊයේ පස්වරුවේ සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත .
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික සෙබලෙකු වන සැමියාගෙන් ඇයට වෛරසය ආසාදනය වන්නට ඇතැයි සැක කරන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.
පසුගියද නිවාඩුවට නිවසට පැමිණි එම නාවික සෙබලාට වෛරසය ආසාදනය වූ බවට මෙතෙක් තොරතුරු ලැබී නැති බවද වාර්තා වේ .
නිවාඩුවට පැමිණි තම සැමියා සමග මෙම කාන්තාව වාසිවැව ප්‍රදේශයේ නිවාස ගණනාවකට සහ පොදු ස්ථාන රැසකට ගොස් ඇති බවත් අනාවරණය වී ඇත.
වාසිවැව ගම්මානයේ ක්‍රියාත්මක ග්‍රාමීය ජල සම්පාදන ක්රමයක කටයුතු බාරව සිටින ආසාදිත කාන්තාව ප්‍රදේශවාසින්ට දිනපතා පානීය ජලය නිකුත් කිරීමේ කටයුතු වලද යෙදී ඇති බවත් අනාවරණය වී ඇත.
මෙම කටයුත්තේදී ඇය සමග සමීපව කටයුතු කරන ජල බිල්පත් නිකුත් කරන පුද්ගලයාට අමතරව එම ගම්මානයේ ක්‍රියාත්මක කාන්තා සමිතියක ක්‍රියාකාරි සාමාජිකාවක් වන ඇය එහිදීද ප්‍රදේශයේ කාන්තාවන් රැසක් සමීපව ඇසුරු කර ඇති බවද අනාවරණය වී තිබෙි .
මේ හේතුවෙන් එම ගම්මානය හුදෙකලා කොට මෙම කාන්තාව ඇසුරු කළ පුද්ගලයන් සෙවීම සඳහා පොලීසිය සහ සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත. ආසාදිත කාන්තාවගේ දෙමාපියන් සහ දරුවන් දෙදෙනාද පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.