නිදහසින් පසු ගත වූ වසර 74ක කාලය තුළ අපේ රට වැටී ඇති තත්ත්වයෙන් පෙනී යන්නේ දේශපාලකයා වගේම රාජ්‍ය සේවකයාත් අසමත් වී ඇති බව යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
2022 නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සඳහා අද දින (03) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති නිලධාරි හමුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. රාජ්‍ය සේවාවට කැපවීමේ ප්‍රතිඥාව මෙහිදී කියවූ අතර නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් ආගමික වතාවත් පැවැත්වීම ද සිදු කෙරිණී.එම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුලු නිලධාරිහු සහභාගි වූහ.
“අපේ රටේ ජනගහනයෙන් 15ට එක් අයෙක් රාජ්‍ය සේවකයෙක්. සමහර විට මෙම වසර වනවිට මෙම ඉළක්කම තවත් වෙනස් වෙන්න පුලුවන්. උපාධිධාරින් 50,000ක් ස්ථිර කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ වගේම තවත් ලක්ෂයක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සිදු කර තිබෙනවා. රාජ්‍ය සේවය ශක්තිමත් වීම මගින් තමයි රටක් සංව්රධනය කළ හැකි වන්නේ.
නමුත් අපේ රටේ ගත වූ වසර 74ක පමණ කාලය තුළ රටේ ආර්ථික සංවර්ධනය සතුටුදායක මට්ටමක නැහැ. ඒකට දේශපාලඥයින් ඝෘජුවම වග කිව යුතුයි. මමත් ඒකකට වගකියන්න ඕනෑ. ඒ වගේම අද අපේ රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 08ක් පමණ වෙනවා. මේ හැම එකකින්ම පෙනෙන්නේ දේශපාලඥයා වගේම රාජ්‍ය සේවකයාත් අසමත් කියන එකයි.
අපිට 2022 ලොකු ඉළක්කයක් තියෙනවා. රුපියල් මිලියන 2000ක් අපි වැය කරන්න ඕනෑ. ආණ්ඩුව වැඩි මුදලක් අපිට දුන්නේ සල්ලි තියෙන නිසා නොවෙයි. ඒ නිසා එම මුදල් ඵලදායිව යොදවන්න වෙනවා. පසුගිය වසරේ කොවිඩ් නිසා යම් මුදලක් භාණ්ඩාගාරයට ගියා. නැවත මේ වසරේ එහෙම වෙන්න බැහැ. අපි හැම දෙනාම කාර්යක්ෂමව කටයුතු කළ යුතුයි.”
