රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අහිමි කරමින් හා දැවැන්ත පාරිසරික හානියක් සිදු කරමින් කාලාන්තරයක් තිස්සේ සිදු කර ගෙන යන අප රටට පැමිණෙන නැව්වලින් බැහැර කරන දැවිතෙල් මිල දී ගැනීමේ ජාවාරම සම්බන්ධව පුළුල් විමර්ශණයක් සිදු කිරීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
ඒ අනුව මෙම ජාවාරම නැවැත්වීමට මෙන්ම ඒ හරහා ගනුදෙනු වන අතිවිශාල මුදල් සම්බාරය සම්බන්ධව විමර්ශණය කිරීමේ කටයුතු ජනාධිපති විමර්ශණ අංශය මගින් සිදු කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරයි.
ජනාධිපතිවරයා ඇමෙරිකානු සංචාරය නිම කර පැමිණි පසු ඔහුත් සමග සාකච්ඡා කිරීමටත් මෙම ජාවාරම හරහා රටට ඩොලර්වලින් අහිමි කර තිබෙන ධනස්කන්දය සම්බන්ධව ජනපතිට කරුණු සහිත වාර්තාවක් ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා පවසයි.
මධ්‍යම පරිසර අධිකාරිය විසින් දැවිතෙල් අපහරණය සඳහා මේ වනවිට බලපත් 27ක් නිකුත් කර තිබේ. එහෙත් ඉන් දැවිතෙල් පිරිපහදු කිරීමේ පහසුකම් ඇත්තේ ආයතන 04කට පමණි. වසරකට දැවිතෙල් ටොන් 20,000ත් 25,000ත් අතර ප්‍රමාණයක් අප රටට එන නැව්වලින් බැහැර කරනු ලබයි. එහෙත් ඒවා අපහරණ බලපත් ලබා ගෙන ඇති ආයතනවලින් වසරකට පිරිපහදු කළ හැක්කේ ටොන් 4800ක් පමණි. ඉතිරි ටොන් 15,200කට වැඩි ප්‍රමාණයකට සිදුවන දේ පැහැදිළි නැත.
දැවිතෙල් පිරිපහදු පහසුකම් නැති ආයතන හා පුද්ගලයින්ට බලපත් ලබා දීම ම වැරැදි සහගත ක්‍රියාවක් බව බැලු බැල්මට පෙනී යන බව ද අමාත්‍යවරයා පවසයි. ලොව අනිත් රටවල් වරායන්වලට එන නැව්වලින් දැවිතෙල් ඉවත් කරන විට අදාල නැව් විසින් එම රටට මුදල් ලබා දෙයි. නමුත් අප රටේ පමණක් නැව්වලට මුදල් ගෙවා දැවිතෙල් මිල දී ගැනීම නිසා අපේ විදේශ විනිමයෙන් ඩොලර් විශාල ප්‍රමාණයක් වාර්ෂිකව විදේශයන්ට ඇදී යයි.
මධ්‍යම පරිසර අධිකාරිය හා අනෙකුත් ආයතන විසින් මෙම කටයුතු නියාමණය සඳහා ප්‍රමාණවත් පරිදි අවධානය යොමු කර නැති බව ද ඇමැතිවරයා සඳහන් කළේය. එමනිසා ඉදිරියේ දී දැවිතෙල් අපහරණ කටයුතු රටට ආදායමක් ලබා දෙන තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
එමනිසා මෙම ජාවාරම සම්බන්ධව ජනාධිපති විමර්ශණ අංශය මගින් විමර්ශණය කරවීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍යවරයා සඳහන් කරයි.
