මේ වනවිට ශ්‍රී ලංකාවේ ආඩම්බරය බවට පත්ව ඇත්තේ පිටරටින් සහල් ගෙන්වීම බවත් ආණ්ඩුවේ වැරදි ක්‍රියා පිලිවෙත් හමුවේ සමස්ත ශ්‍රී ලංකාවේම නිෂ්පාදන කඩා වැටී ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (03) අනුරාධපුර, එප්පාවල, හුරිගස්වැව ප්‍රදේශයේ පැවති සංවාදශීලී ගොවිජන හමුව අමතමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"අද අපේ රට ප්‍රශ්න ගොන්නකට හිර වෙලා තියෙනවා, දීර්ඝ කාළයක් පක්ෂ දෙකක් අපේ රට පාලනය කරලා, රටට විය හැකි සියලුම පන්නයේ විනාශයන්ට අද මුහුණ දීලා ඉවරයි.අපිට අද කිරි පිටි පෝලිම් තියෙනවා, ගෑස් පෝලිම් තියෙනවා, විශාල බඩු හිඟයක් ඇති වෙලා තියෙනවා. පහුගිය කාළය පුරාවටම අපේ රටේ පාලකයෝ සමත් වුණේ නෑ අපේ රටේ නිෂ්පාදන ය දියුණු කරන්න. මේ දවස් වල මාධ්‍ය වාර්ථා කරලා තියෙනවා කන්ටේනර් 1500 ක් වරායේ හිර වෙලාලු, මේ කන්ටේනර් වල තියෙන්නේ අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය. හාල්, කිරිපිටි, ළූණු, සැමන්, පරිප්පු, කඩල, අල, සීනී කියන රටේ ජනතාවගේ අත්‍යවශ්‍යය පාරිභෝගික භාණ්ඩ වරායේ හිර වෙලා. වරායේ හිර වෙන කොට කඩේ පෝලිම්.
මේ ගොල්ල අසාර්ථකකම් දෙකක් කරලා තියෙනවා. අපි අපේ රටේ නිෂ්පාදනය කරන්න පුලුවන් දේවල් නිෂ්පාදනය කර ගත්තේ නෑ, හාල් අද පිටරටින් ගේන්න සිද්ධ වෙලා තියෙනවා. ගේනවා විතරක් නෙමෙයි බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යයවරයා ආඩම්බරයෙන් කියනවා හාල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් මියන්මාරයෙන් ගේනවා කියලා .දැන් අපේ රටේ ආඩම්බරය පිටරටින් හාල් ගේන එක. ඒක ගොවිජනතාවගේ වරදක්ද, මේ ගොවි ජනතාව තමන්ගේ කුඹුර පාලු වෙන්න ඇරියද? යල-මහ දෙකන්න වර්ෂාව තිබුනේ නැත්නම් වගා නොකර හිටියද? කම්මැලි වුණාද? නෑ. මේ මහ පොලවත් එක්ක දිවා- රෑ නොබලා වෙහෙස වෙමින් අස්වැන්න ගේන්න සූදානම් ගොවිජනතාව.
එහෙම නම් ප්රශ්නය අද හාල් හිඟයක් ඇති වුණේ ගොවියගේ ප්‍රශ්නේ නිසා නෙමෙයි, ආණ්ඩුව ගනු ලැබූ වැරදි ප්‍රථිපත්ති හා තීන්දු නිසයි. ඒ නිසා අද රටේ මුළු නිෂ්පාදනයක් කඩා වැටිලා තියෙනවා. පිටරටින් බඩු ගේන්න වෙලා තියෙනවා, පිටරටින් බඩු ගේන්න ඩොලර් නෑ, ඩොලර් උපයා ගන්න අසමත් වී තියෙනවා. ඩොලර් උපයා ගන්න නම් අපි පිටරටට භාණ්ඩ යවන්න ඕන, පිටරටට සේවා සපයන්න ඕන. අද අපිට ඩොලර් ඇත්තෙත් නෑ, භාණ්ඩ ඇත්තෙත් නෑ, ඒ නිසා අද බොහෝ අය අනතුරු අඟවනවා මාර්තු අප්‍රේල් වෙන කොට විශාල ආහාර හිඟයක් ඇති වෙයි කියලා. කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම්තුමා පහුගියදා ප්‍රසිද්ධියේ කිව්වා “විශාල ආහාර හිඟයක් ඇති වෙන්න ඉඩ තියෙනවා තරුණයින් ටිකක් අඩුවෙන් කාලා, වැඩිහිටියන්ට හා දරුවන්ට ටිකක් වැඩියෙන් කන්න දෙන්න “ කිව්වා විතරයි එතුමාට හොඳට කන්න වුණා. එතුමට ගෙදර යන්න වුණා.එතුමා ගෙදර ගියා කියලා ප්රශ්නය විසදෙන්නේ නෑ,ආහාර ප්රශ්නය විතරක් නෙමෙයි, අපේ රටේ අධ්‍යාපනය කඩා වැටිලා තියෙනවා, ගෑස් පෝලිම්, අද සපුගස්කන්ද වහලා බොරතෙල් ටික ගේන්න විදිහක් නෑ, ණය ගෙවා ගන්න විදිහක් නෑ, ඉන්දියාවට යනවා පරිප්පු ගේන්න ඩොලර් ටිකක් දෙන්න කියන්න, චීනෙට යනවා රෙදි-පිළි ගෙන්න යුවාන් ටිකක් ඉල්ල ගන්න.රට හිඟමනට දාලා,රට කඩා වට්ටලා.මේක ස්වාභාවික ව්‍යසනයක් නෙමෙයි.මේ රටට මේ ව්‍යසනය අත් කරලා තියෙන්නේ ආණ්ඩුව.අපේ රට මෙතක් කල් පාලනය කරපු පාලක කණ්ඩායම් විසින් අපේ රටට ඇති කරන ලද ව්‍යසනයක් මේක."