කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුව සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයන කරන අතර ඉන් මෙට්‍රික් ටොන් 20,000ක් මෙරටට ගෙනත් තිබෙන බවත් එම සහල් කිලෝවක් රුපියල් 100ට අඩුවෙන් ලබා දීමට කටයුතු කරන බවත් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
සහල් ආනයනය නතර කිරීමට ගත් තීරණයත් සමග ආණ්ඩුවට වෙළඳපොලේ සහල් මිල පාලනය කිරීමට නොහැකි වූ බවත් ඒ අනුව නැවත සහල් ගෙන්වීමට තීරණය කළ බවත් අද (08දා) පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයක් පිළිබඳ අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.
මෙරට දිනකට සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 6,500ක් වන අතර මෙට්‍රික් ටොන් 20,000 දින තුනකට පමණක් ප්‍රමණවත් වන බවත් ඒ අනුව දින 3ට සහල් ආනයනය කර දින 365ක සහල් වෙළදපොල පාලනය කිරීමට හැකිද යන්න ප්‍රශ්න කරන බවත් එහිදී අදහස් පළ කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක - අද භාණ්ඩ මිල විශාල ලෙස ඉහල ගොස් තිබෙනවා. ඒක පුරවැසියන්ට දරාගන්න බැරි පමණ ඉහළ යෑමකට ලක්ව තිබෙනවා. විශාල භාණ්ඩ හිගයක් මතු වෙලා තිබෙනවා. ඔබතුමන්ලා විශාල ලෙස ප්රයත්න දැරුවා සහල් මිල පාලනය කරන්න. අවස්ථා ගණනාවකදී ගැසට් ගැහුවා. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාත්, කෘෂිකර්ම ඇමතිවරයාත් අවස්ථා ගණනාවකදී විවිධ මට්ටමින් සපත කර සිටියා සහල් මිල මේ ගාන කියලා. ඒත් ඒ කිසිදු සපත කිරීමක් අද මේ මහපොලවේ සිදු නොවී ඇති බව තමයි පෙන්නුම් කර තිබෙන්නේ. ඒ නිසා මෙවැනි ප්‍රදර්ශන ව්‍යාජ සැරසිලිකාරී පැති වලින් මේ භාණ්ඩ මිල පාලනය කරන්න බෑ. දැන් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් දාලා සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කරන්න. ඒකෙන් මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කරා කියලා කියනවා.
වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන - මීට පෙර ඉතිහාසයේ සහල් මෙට්‍රික් ටොන් 6000ක්, 3000ක්, 2000ක් ලෙස ආනයනය කරලා තිබෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තා සහල් ඇටයක්වත් ගේන්නේ නෑ කියලා. ඒ නිසා සහල් මිල අපිට පාලනය කර ගන්න බැරි වුනා. දැන් ගෙනල්ලා තිබෙනවා. කලින් ටෙන්ඩරයට වඩා අඩු මිලට මෙට්‍රික් ටොන් 20,000ක් ගෙනත් තිබෙනවා. මේක 100ට අඩුවෙන් දෙනවා.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක - දැන් මේ මෙට්‍රික් ටොන් 20,000න් මේ සහල් මිල පාලනය කරන්න පුලුවන්ද? දවසක අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 6500යි. 20,000යි කියන්නේ දවස් තුනකට සහල්. දවස් තුනකට සහල් ආනයනය කරලා දවස් 365ක වෙළදපොළ පාලනය කරන්න පුලුවන්ද?