සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග
“පාලුව දෙවනත් කරලා
නාඬන් උලලෝනෝ
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා”
රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මනස් විලෙහි ජනිතව ගායනවේදී සංගීත විශාරද ගුණදාස කපුගේ ගැයූ 1971 පරාජිත යෞවන දේශපාලන ඛේදවාචකය සමහර ශෝකී නිමේෂයකදී තවමත් නිහඬ අවකාශය පසාරු කරයි. ඒ හඬ නිහඬ වී ඉකුත් අප්‍රේල් 03 වැනිදා වන විට වසර දාහතක් ගතවී තිබිණි. ඉනික්බිතිව අදීන මිනිසාගේ බොඳ වූ දෙනෙත, දෙවුරට වැටුණු දිගු කෙහෙරැලි, කෙසඟ සිරුර තවමත් බොඳ නොවුණු මතකයකි. තැලුණු, පෑගුණු මිනිසුන් උදෙසා ගැයුණු ගැඹුරු ගී හඬ හද කම්පනය කරයි.
ගුණදාස කපුගේ නම් වූ මේ අපූර්ව මිනිසා 1945 අගෝස්තු මස 07 වනදා දකුණේ, ගිං ගඟ මිටියාවතේ, තණබැද්දේගම ගම්පියසේදී ඇල්ලමුල්ල කපුගේ ප්‍රැන්සිස් හා සිරිබද්දන ඇලිස් නෝනා යුවළට දාව දුෂ්කරතා සපිරි පවුලේ දෙවැන්නා ලෙස උපත ලැබීය. ඔහුට වැඩිමහල් සොහොයුරෙකු හා බාල සොහොයුරන් හතර දෙනෙකු ද, සොහොයුරියන් දෙදෙනෙකු ද විය.
එරමුල්ල කනිෂ්ඨ විද්‍යාලයේ මූලික අධ්‍යාපනයෙන් පහේ ශිෂ්‍යත්වය සමත්ව කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය, නාගොඩ විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝකයෙන් උසස් අධ්‍යපනය ලැබූ ඔහු 1963දී හේවුඩ් ලලිත කලා ආයතනයට ඇතුළු විය. අපමණක් කම්කටොළු මැද වුව 196දී ඉන්දියාවේ භාත්කණ්ඩේ සංගීත විද්‍යාලයට ඇතුළු වූ කපුගේ 1966දී එහි ඩිප්ලෝමා විභාගය සමත්ව ලක්නව් සරසවියේ සංගීත විශාරද උපාධියද සමග 1969දී ලංකාවට පැමිණියේය.
කපුගේ කුඩා කල සිටම සමත්කම් පෑවේ අධ්‍යපනයට පමණක් නොවේ. ඔහු 1959දී ගාලු දිස්ත්‍රික්කයේ අන්තර් පාසල් ඒකල ගායනා තරගයේ ප්‍රථමයා විය. ඔහු ලලිත කලාතනයේදී එච්.ඩී.එස්. ජයසේකර, සඳුනන්ද පට්ටිආරච්චි, බී.එස්. විජයරත්න හා ශාන්ති ගීතදේව යටතේ ගායනය හා එස්රාජ් වාදනය ප්‍රගුණ කොට ඇත්තේ මතු දිවිසැරිය කවරක්ද යන්න පසක් කරමිනි. කපුගේ විනිවිද දුටු ශාන්ති ගීතදේව ඔහුට වැඩිදුර අධ්‍යපනයට ඉන්දියාවට යැවීමට උනන්දු විය. කපුගේ තරුණයාගේ අධ්‍යපනයට මුල සිටම අත දුන් එස්. එඩ්මන් මාමා සිය ගෙයක් හා ඉඩමක් උගසට තබා ඔහු ඉන්දියාවට පිටත් කර හැරීමෙන් එම අදහස සඵල විය.
1969 වර්ෂයේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ක්‍රියාකාරී සහකාර තනතුරකින් කපුගේ සිය වෘත්තීය දිවිය අරඹනුයේ දිගු ගමනක පළමු පියවර තබමින්ය. වැඩි කල් නොගොස්ම 1970 වර්ෂය වන විට ශබ්ද පරිපාලකයෙකු ලෙස කපුගේ ගුවන් විදුලියේ ස්ථාවර විය. 1975 වර්ෂයේදී වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස ඔහු උසස්වීමක් ලබනුයේ ගමන තවදුරටත් ස්ථාවර කරමිනි. සහජයෙන් උරුම වූ හඬ පෞරුෂයත්, සංගීත කුසලතාවත් මල් ලියකම් සපිරිව ඔප දැමීමට කපුගේට සොඳුරු ආලකමන්දාවක් වනුයේ ගුවන් විදුලියයි. සංගීතවේදියෙකු, ගායන ශිල්පියෙකු, ශබ්ද පරිපාලකයෙකු, වැඩසටහන් නිෂ්පාදකවරයෙකු ලෙස පමණක් නොව වරෙක සන්නිවේදකයෙකු ලෙස ගුණදාස කපුගේ ජන හදවත් ආමන්ත්‍රණය කරලුයේ ගුවන් විදුලිය ඔස්සේය. විටෙක ගුවන් විදුලිය නිසා කපුගේත්, තවත් විටෙක කපුගේ නිසා ගුවන් විදුලියත් එකිනෙකා කෙරෙහි ආසක්තව බැබලෙන්නට විය.
“දෑස නිලුපුල් තෙමා
කදුළු මුතුවැල් සලා
දොතොල් සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මල්මාලියේ”
ප්‍රියානන්ද විජේසුන්දර ලියූ මේ ගීපද සංගීත විශාරද සනත් නන්දසිරිගේ සංගීතයට ගයමින් ගුණදාස කපුගේ ගී ලොවට පිවිසියේය. ඒ 1973 වර්ෂයේදීය. එවක ජාතික ගුවන් විදුලියේ සිංහල අංශයේ අධ්යක්ෂවරයාව සිටි මානව දයාවෙන් සපිරි මිනිසෙකු ලෙස ප්‍රකට එච්.එම්. ගුණසේකර මහතාගේ අත දීමද ඒ සඳහා ඉවහල් වී ඇත. ගැඹුරු ශෝකී හඬ රිද්මයකින් අප්‍රමාණ රසික ජන ගිම් නිවූ විශාරද කපුගේ ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ ගායකයෙකු ලෙස පිළිගැනීමට පාත්‍ර විය. කපුගේ ශූරීන්ගේ සුභාවිත ගායන මාධුර්යය ඇත්ත මහපොළොව ස්පර්ශ කළ ජීවන යථාර්ථයෙන් පිරී තිබිණි.
එය ප්‍රේමය, අනුරාගය, වියෝගය සපිරි මනා සංකලනයක්ම විය. කපුගේ ගායන ලකුණ ජීවත් වීමේ සටනෙහි නියුතු අවවරප්රසාදිත ජීවිත මෙන්ම වරෙක ගෝලීය ධනවාදය හමුවේ අභියෝගයට ලක්වන මෙරට සමාජ, ආර්ථික, දේශපාලන කාරණා නිරූපිත පැතිකඩක් ද, ජාතික සමගියේ තෝතැන්නක් ද විය. සීතල සද එළියේ, බිම්බරක් සෙනග ගැවසුන, විදුලි මිනි පහන් දැවී, නින්ද නැති රැයේ, ඔබ පෙම් කරනා, සුබ ප්‍රාර්ථනා, උම්මාද සිතුවම්, අහස උසට නැග ගියාට, මගේ බිසවුනේ අසාපන්, දවසක් පැල නැති හේනේ, කවුරුත් එන්නැති කවුරුත් දන්නැති, ඔබ පෙම් කරනා ඔබේ කුමාරිය, දම් පාටින් ළා සද බැසයනවා, අයියණ්ඩියේ, සබද අපි කදු නොවෙමු, පිහිටක් නැති සරණක් නැති, සිංහල සින්දු කියන, මගේ හද මඩලවැනි සුභාවිත ගීත ඔහු ගැයු සිය ගණනක් වු ගී අතරින් කිහිපයක් පමණකි.
1978 ජුලි 22 වැනිදාවක කියුබාවේ, හවානා නුවර පැවැති තරුණ සමුළුවට සහභාගි වීමට කපුගේ නිවාඩු සහ අවසර අනුමැතිය ඉල්ලුවද ගුවන් විදුලි පරිපාලනය ඊට ඉඩ දුන්නේ නැත. නිවාඩු නොලබාම හවානා සමුළුවට ගොස් පෙරලා එන විට ගුවන් විදුලිය කපුගේ සේවය අතහැර ගියා සේ සලකා තිබිණි.
1979 වසරේ නැවත සේවයේ පිහිටවනු ලැබුවද එම වසරේදීම ඔක්තෝම්බර් මාසයේදී එවක අගමැතිවරයාට අපහාස කළා යැයි යන චෝදනාව හමුවේ කපුගේට නැවත රැකියාව අහිමි වී තිබිණි. අනතුරුව ගෙවී ගිය වසර දෙකකට ආසන්න කාලපරිච්ඡේදය දුෂ්කර වකවානුවකි. මෙම වකවානුවේ ලූෂන් බුලත්සිංහලයන්ගේ %තාරාවෝ ඉගිලෙති^ වේදිකා නාට්‍යයේ සංගීත නිර්මාණ කාර්යයට කපුගේ තෝරාගැනීම වෙස්වළා පැමිණි ආශිර්වාදයක්ම වී ඇත.
තාරාවෝ ඉගිලෙති නාට්‍ය යේ මංගල දර්ශනය දැකීමට පැමිණි එවක ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයාව සිටි ඒමන් කාරියකරවන මහතා නාට්‍යය උත්කර්ෂයට නංවන මියුරු සත්සර රටා කෙරෙහි විමසිලිමත් වන්නට විය. සංගීත නිර්මාණකරුවා කපුගේ වග දැන ඒ කෙරෙහි පැහැදී ඔහු නැවත සේවයේ පිහිටුවා ගුවන් විදුලියේ රජරට සේවයට පත්කර එවනුයේ දෛවෝපගත ලෙසිනි. ඒ 1981 වර්ෂයේ අගෝස්තු මාසයේ දිනකදීය.
1985 වර්ෂයේ රජරට සේවයේ සංගීත නිෂ්පාදක ලෙස පත්වන සංගීතවේදී ගුණදාස කපුගේ තවත් දෙවසරක් ඇවෑමෙන් සංගීත සංවිධායක ධුරය දක්වා උසස් වීමක් ලැබීය. මුළු රටම භීෂණයෙන් වෙලාගත් 1989 – 1990 වකවානුවේ රජරට ගුවන් විදුලියේ පාලක තනතුරට කපුගේ පත්කරනුයේ එහි වැඩසටහන් අංශයේ වගකීම ද ඔහු දෙවුර මත රඳවමිනි. එසමය තාරුණ්‍යයේ අතොරක් බලාපොරොත්තු ටයර් සෑ මත දැවී හළුවී මිනී කඳු ගොඩගැසුණු අඳුරු වකවානුවක්ම විය. නිදහස් මතධාරියෙකු වූ කපුගේ ට මේ සමාජ ඛේදවාචකය ඉහුලුම් නොදෙන්නක් විය. යුද හමුදා ආරක්ෂාව යටතේ නිවෙස් වලින් ඈත්ව රජයේ සංචාරක නිවාසයක නැවතී රාජකාරියෙහී නියැළීමට ඔහු ඇතුළුලු කණ්ඩායමට සිදුවිය.
මේ අභියෝගාත්මක, නිර්මාණාත්මක අත්දැකීම් බහුල වෘත්තීය ජීවිතය කපුගේ මහා කලාකරුවෙකු බවට පත්කිරීමට අවැසි පසුබිම නිර්මාණය කොට තිබිණි. එහෙත් අවසන 1990 වසරේ ජනවාරි 29 වන දින රජරට සේවයෙන් අනිවාර්ය නිවාඩු යවා ගීත තහනමකට ද ලක්වීමත් සමග ගුවන් විදුලියේ අතිමහත් වූ කපුගේ භූමිකාව නිමාවට පත්විය.
මේ සියලු උපද්‍රව හමුවේ ඔහු අතැර නොගිය එකම සම්පත ඇය විය. 1974 නොවැම්බර් මස 22 වැනිදාවක ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ නිවසේ පැවැති උපන් දින සාදයකදී ප්‍රේමා විතානගේ නම් තරුණිය කපුගේට මුණගැසුණි. ඒ වන විට ප්‍රතිභාසම්පන්න කලාකරුවෙකු ලෙස රට හඳුනමින් සිටි කපුගේට එවක සෞන්දර්ය විද්‍යාලයේ නැටුම් හැදෑරීමට පොළොන්නරුවේ සිට පැමිණි ප්‍රේමා මෙසේ හමුවනුයේ දෛවය කළ සැලසුමක් පරිද්දෙනි.
වසර කිහිපයක ආදර ආලෝලන මැද 1978 වර්ෂයේ ජුලි 06 වැනිදාවක සිදුවූ විවාහයෙන් ඔවුනට දරුවන් තිදෙනෙකි. වැඩිමහල් පුතු මිත්‍ර කපුගේ සංගීත අංශයේ උසස් අධ්‍යපනයක් ලබා පිය උරුමයෙන් ගායන ලොවට පිවිස සිටී. දියණියන් දෙදෙන සජිනි හා නයනතාරා ය. බිරිඳ ප්‍රේමා කපුගේ සතුව පැවත ඇති මනා කළමනාකරණය සහ ඉවසීමේ ගුණය සිය නිර්මාණ යුග මෙහෙවරට උරදීමට කපුගේට අවැසි නිදහස නිර්මාණය කොටදී තිබිණි.
රජරට හැරපියා කොළඹට පැමිණි කපුගේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ මඟපෙන්වීමෙන් %කම්පන^ ප්‍රසංගය පැවැත්වීමේ ඉඩහසර සකස් කොටගෙන ඇත. කලකට මත්තෙන් කරළියට ගෙන ආ කාලයේ රාවය, උදාන ගී, කපුගේ ගී සැදෑව ආදියෙන් ලද අත්දැකීම් ද ඒ සඳහා ඉවහල් වී තිබිණි. මහාචාර්ය සුචරිත ගම්ලත්, ඊ.එම්.ඩී. උපාලි මෙන්ම එවක නැගී එන නවකයන් දෙදෙනෙකු වූ රජරටින් ආ කරුණාරත්න දිවුල්ගනේ, ජයතිලක බණ්ඩාර ආදීන්ගේ සංයෝගයෙන් 1990 වසරේ අගෝස්තු මස 25 වැනිදාවක කම්පන පළමු ප්‍රසංගය එළිදක්වා ඇත. ඒ සඳහා ලැබුණු අතිමහත් ජනප්රසාදය හේතුවෙන්ම 26 සහ 27 දිනයන්හීද ප්‍රසංගය පැවැත්වීමට සිදුව ඇත.
කපුගේ සිය හඬ මාධුර්යය සඳහා 1996 වර්ෂයේ දී ස්වර්ණ සංඛ, විශ්ව ප්‍රසාදිනී සහ සරසවි සම්මාන ත්‍රිත්වයෙන් පිදුම් ලදුවේය. 1997 ඔහුට වාසනාව පෑදු වසරක්ම විය. හොඳම ගායන කෞෂල්‍යය සඳහා රස සංගීත සම්මානයත්, ජනාධිපති සහ සරසවි සම්මානත් ලද කපුගේ %භව දුක^ සිනමා සිත්තමේ නිර්මාණශීලී සංගීතය උදෙසා OCIC සම්මානයෙන් බුහුමන් ලැබීය. 1998 වර්ෂයේදීද හොඳම ගායකයා සඳහා සම්මාන ලැබූ කපුගේ 1999 වසරේදී සරසවි සිනමා උළෙලේදී ප්‍රසාද පූජා සම්මානයෙන් ඇගයීම් ලැබීය.
කැසට්පට සහ සංයුක්ත තැටි එකොළහකට පමණ ගී ගැයූ විශාරද කපුගේ තුරග සන්නිය, තාරාවෝ ඉගිලෙති, පරපුටුවෝ, නන්දි විසාල, සිර කඳවුර ආදී වේදිකා නාට්‍ය පෙළත්, සසර සෙවනැලි, ගිගිරි වළලු, ආයම්මාවරු, රංදෝලි, පාරමීදම්, දොළොස්පැය ආදී ටෙලි නිර්මාණත් ඔහුගේ මියුරු සත්සරින් ඔප දැමීය. සදා, රතු මකරා, මාල ගිරවි, චුට්ටේ, පුතුණි මට සමාවන්න, භව දුක, භව කර්ම ආදී සිනමා සිත්තම් කපුගේ සිනමා සංගීතයට දෙස් දෙයි. වර්ෂ 2003ක් වූ අප්‍රේල් මස 02 වැනිදාවක විදෙස් ප්‍රසංගයකට සහභාගි වී යළි මෙරටට ගොඩබට මොහොතේ ගුවන් තොටේදී සිදුවූ අනතුරකින් රෝහල් ගත කරනු ලදුව පසුවදා ගුණදාස කපුගේ සදහටම දෙනෙත් පියා ගත්තේය. ඒ ජීවන මගේ පනස් අටවැනි වියට තවත් මාස කිහිපයක් අඩුව තිබියදීය. එයින් මතු රුපියල් සත නොතැකු ජනතාවාදි කලාකරුවෙකුගේ ගමන නිමා විය. සත්‍ය ලෙසම ඒ නික්මීම තවත් යුගයක නිමාවක් බඳු විය.










