අපේ රටේ මෙන්ම ලෝකයේ ජනතාව කොරොනා වලින් පරිස්සම්වනවා මෙන් තමා ද මේ අවස්ථාවේ දේශපාලන පෙර පිටියෙන් අඩියක් පසු පසට ගෙන අවශ්‍ය අවස්ථාවේ දී ඩෑෂ් පහරක් සමඟින් නැවත දේශපාලනයට පැමිණෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
අද (18) දින ගාල්ලේ දී මාධ්‍යවේදීන් හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා ,
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 යි. එයින් 18 දෙනෙකුට නාමයෝජනා දුන්නා මම ඇර. අපේ නායකයින් කලින්ම ගිහිල්ලා නාමයෝජනා අත්සන් කරා. අනිත් අය ගැන බැලුවේ නෑ. එහෙම බැලුවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ තත්ත්වය උදා වෙන්නේ නෑ. දයාසිරි, දුමින්ද විතරයි අත්සන් නොකර හිටියේ. මට නොමිනේෂන් නොදුන්නට මම දේශපාලනය කරන එක නවත්වන්න කාටවත් බෑ. මම දිගටම දේශපාලන කටයුතු වල නිරත වෙනවා.
මේකේ නොමිනේෂන් නැතිවුනා කියලා මම පළාත් සභාවට ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ. අද රටේ ජනතාව කොරෝනා නිසා ටිකක් පහුබැහැලා ඉන්නේ. ඒ වගේ මේ වෙලාවේ මාත් අඩියක් පසුපසට ගෙන ඉන්නවා. අදාළ වෙලාව ආවම ඩෑෂ් පහරක් ගහලා නැවත එනවා. මම මේ සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද මහත්මයාටත් කතා කරා. නමුත් පැහැදිලි පිළිතුරක් ලැබුණේ නෑ. බැසිල් මහත්මයානේ ඉතින් මේ ලිස්ට් හදන්නේ. අන්තිමේ වුණේ මට සහ මගේ ජනතාවට අසාධාරණයක් වුන එක විතරයි”.