'උගතුන් උපාධිධාරීන් පමණක් පාර්ලිමේන්තුවට යා යුතුයි' යන මතයට විරුද්ධව තමා පෙනී සිටින බවත්, මෙරට දේශපාලනඥයන් 'නූගත්' යැයි එල්ල කරන චෝදනාවටද විරුද්ධව පෙනී සිටින බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
කොළඹ පදනම් ආයතනයේ පැවැති අනූෂා ගෝකුල මහත්මිය විසින් රචිත %සුදු කළු අළු^ ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් දේශප්‍රිය මහතා මේ බව සඳහන් කළේය.
මන්ත්‍රීවරයෙකු වීමට සුදුසුකම උගත් බව හෝ නූගත් බව නොවන බව තම අදහස යැයිද ඔහු කීය.
මන්ත්‍රීවරයෙකු ලෙස පත්වන අයෙකුට යමක් අවබෝධ කරගැනීමට හැකියාව ඇත්නම් සහ එය විශ්ලේෂණය කර සුදුසු පිළිතුරක් සොයාගැනීමට හැකියාව ඇත්නම් ඔහුට මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ හැකි බවද මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා,
"පාර්ලිමේන්තුවේ 94 දෙනෙක් සාමාන්‍ය පෙළ අසමත් වුණ අය ඉන්නවා කියලා චෝදනා කරන අය ඒ ගැන හොයලා බලලා තහවුරු කරගෙන තියෙන්නේ කවුද? අනෙක් අතට පාර්ලිමේන්තුවේ උගත් කී දෙනෙක් ඉන්නවාද? ඇත්ත ආචාර්ය උපාධි ගත්තු මන්ත්‍රීවරු අඩුම 05ක් ඉන්නවා. ඇත්ත වෛද්‍යවරු 06ක් ඉන්නවා. ඉංජිනේරුවරු 05ක් ඉන්නවා. ඇත්ත සුදුසුකම් තිබෙන ගණකාධිකාරීවරු අඩුම 05ක් ඉන්නවා. නීතිඥවරු 50කට වඩ ඉන්නවා.
මන්ත්‍රීවරුන් කීදෙනෙක් භාෂා දෙකක් කතාකරනවද?, තමන් කතා කරන විෂය ගැන විශේෂඥයොද? ඒ වගේ අපට කතාකරන්න පුළුවන්ද? උගත් කියලා අපි කියන අයට මේ මන්ත්‍රීවරු සමග විවාද කරන්න පුළුවන්ද?
ඒ නිසා අපේ රටේ දේශපාලඥයන් නූගත්ය කියන මතයට විරුද්ධව පෙනී සිටිනවා. උගතුන්, උපාධිධාරීන් පමණක් පාර්ලිමේන්තුවට යා යුතුයි කියන මතයට විරුද්ධව පෙනී සිටිනවා.
'උගත්භාවය' පමණක් සාධකය වුණොත් නූගත් අයට ඉඩක් නැතිවෙනවා. මන්ත්‍රීවරයෙකු වීමට සුදුසුකම උගත්, නූගත් බව නෙවෙයි. මන්ත්‍රීවරයෙකුට යමක් අවබෝධ කරගන්න පුළුවන්ද? එය විශ්ලේෂණය කරලා සුදුසු පිළිතුරක් හොයන්න පුළුවන්ද? සුදුසු විකල්පවලින් වඩාත්ම ගැළපෙන විකල්පය තෝරාගන්න පුළුවන්ද, මේ කියන දේවල් කරන්න දැනුම තියෙනවා නම් ඔහුට එය කරන්න පුළුවන්.
එක්තරා දකුණු ආසියායතික රටක උපාධිය අනිවාර්ය කළා. එතකොට මාස 03න් උපාධි, ඩිප්ලෝමා දෙන්න විශ්වවිද්‍යාල ඇති කළා. සියලුම දෙනා අවුරුද්දෙන් මාස්ටර්ස් දක්වා උපාධිගත්තා.
එහෙමනම් අපි කළ යුත්තේ කුමක්ද?. තේරී පත්වන අයට දේශපාලනය ඇතුළු විෂයයන් ගැන ඩිප්ලෝමා පාඨමාලා කරලා එන්න කියලා කියන්න ඕන.
අපේ රටේ සියලු දෙනාට උගත් නූගත්, දුප්පත් පෝසත් භේදයන් නැතිව ඡන්ද බලය ලබා දී තිබෙනවා. ඡන්ද බලය තියෙන අයට ඡන්දය ඉල්ලන්න අයිතිය තියෙනවා නම් උගතුන්ට පමණක් කියලා බලයක් කොහොද තියෙන්නේ. ඒකට අපි සිවිල් බලයක් ආරෝපණය කරගන්නවා.
එහෙම නම් මැතිවරණ කටයුතු කරන මට තියෙන්නෙ රසායන විද්‍යාව, ශුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය ගැන උපාධියක්. එහෙම උපාධියක් තියෙන මම කොහොමද මැතිවරණ කටයුතු කරන්නේ කියලා කාටහරි අහන්න පුළුවන්.
මේ ප්රශ්නය අපේ රටේ තිබෙන මිත්‍යාවක්. ඒක තමයි උගත් නම් ඕනෑම දෙයක් කළ හැකියි කියන මිත්‍යාව. එහෙම දෙයක් නැහැ. 'ඕනෑම දෙයක් කිරීම', රඳා පවතින්නේ අවංකභාවය, කැපවීම සහ ප්‍රශ්නයක් අවබෝධ කරගෙන එයට නිවැරදි විසඳුම හොයාගන්න පුළුවන්ද කියන කාරණය මතයි.
අපේ රටේ දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම ගැන කතා කරද්දි එයට විරුද්ධ වන 70%ක් කාන්තාවන්" යැයි පැවසීය.