හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප්‍රදේශ රැසකින් අල්ලා ගන්නා ලද විශේෂ සත්ව කාණ්ඩ 23කට අයත් සතුන් 550ක් හා ශාක කොටස් රැසක් මෙරටින් හොර රහසේ රැගෙන යාමට තැත් කරන ලද විදේශිකයන් තිදෙනෙකු මෙම මස 26 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (12) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ඉග්නටෙන්කෝ ඇලෙක්සැන්ඩර්, රියාබෝ ආර්ටේම් සහ කිලෆයාන් නිකොලයි යන රුසියානු ජාතිකයන් තිදෙනාය.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය, සීගිරිය, දඹුල්ල, හබරණ, යාල, ගිනිගත්හේන, යාපනය ආදී මෙරට ස්ථාන රැසකින් එකතු කර ගන්නා ලද දැනට මෙරටින් වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති කටුස්සන්, ගෝනුස්සන්, ගෙම්බන්, හුනන්, ගොළුබෙල්ලන්, මකුළුවන්, සර්පයන්, සමනලයන් ඇතුළු සත්ත්ව විශේෂ 23ට අයත් සතුන් 550 ක් හා ශාක වර්ගවල කොටස් විශාල ප්‍රමාණයක් මෙම විදේශිකයන් තිදෙනා විසින් විශේෂ බහාලුම්වල බහා නුවරඑළියේ සංචාරක නවාතැන් පොළක සඟවා තිබියදී හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් විසින් සොයාගෙන ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කොට තිබිණි.
මෙම විදේශිකයන් තිදෙනා උගන්ඩාව හා ඉන්දියාව වැනි රටවලදී මෙවැනි සිද්ධීන්ට සම්බන්ධව ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, එම නිසා වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයා හරහා අන්තර් ජාතික පොලීසිය දැනුවත් කොට තොරතුරු ලබා ගැනීමටත්, ඊට අමතරව වනජීවී නිලධාරීන් විසින් මෙකී සැකකරුවන් මෙරට සැරිසරණ ලද ප්‍රදේශවල විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති බැවින්, ඒකී විමර්ශනවලට බාධාවක් ඇතිවිය හැකි හෙයින් මෙකී සැකකරුවන් තිදෙනා යළි රක්ෂිත බන්ධනාගර ගත කරන ලෙසට ඉල්ලා සිටින බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය භාරකරු පී. එම්. පී. කේ. ප්‍රදීප් කුමාර මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවැසීය.
හෝර්ටන්තැන්න වනෝද්‍යානය භාරකරු පී. එම්. පී. කේ. ප්‍රදීප් කුමාර, නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, වනසත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ, වනසත්ත්ව නියාමක ප්‍රියදර්ශන, කේෂ්ත්‍ර සහායක උදය කුමාර, රියදුරු එස්. චන්ද්‍රලාල් යන නිලධාරී මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කොට විදේශිකයන් තිදෙනා, සතුන් හා අනෙකුත් භාණ්ඩ අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.