දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අහඹු ලෙස සිදුකරන ලද පිසිආර් පරීක්ෂණ වලින් කිසිදු රෝගියෙකු වාර්තා වී නොමැති බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා අද 15 දින පෙරවරුවේ පැවසීය.
පසුගියදා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළට කෝවිඩ් 19 වෛරසය ශරීරගත වූ පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ වෙළඳසැල් 80කට පමණ ගමන් කළ බවට ලද තොරතුර සමඟ මාතලේ වසංගත රෝග ඒකකය සමග එක්ව දඹුල්ල මහනගර සභාවේ මැදිහත්වීමෙන් පුද්ගලයන් 100 දෙනෙකුගේ පිසිආර්පරීක්ෂණ සිදුකළ බවද ඒ මහතා පැවසීය.
ඒ අනුව මහනුවර මහ රෝහලේ සිදුකරන ලද 100 දෙනාගේ පරීක්ෂණ වාර්තාව 14 දින රාත්‍රියේ තමා වෙත ලැබුණු බවත් එහි කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී නොමැති බව වාර්තා වී ඇතැයි නගරාධිපති ජාලිය ඕපාත මහතා වැඩිදුරටත් දන්වා සිටියේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් බොහොමයක සේවය කරන පිරිස් පිසිආර් පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු තම නිවෙස් වලට පවා නොගොස් ආර්ථික මධ්‍යස්ථානයේම රැඳී සිටීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් පරීක්ෂණ වාර්තා ප්‍රමාදවීම නිසා ආර්ථික මධ්‍යස්ථානය දැඩි කලබලකාරී තත්ත්වයක පසුවිය.
සිදුකරන ලද පරීක්ෂණ සියයේ රෝගීන් වාර්තා නොවුන ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ කිසිදු අයෙකුට ආරක්ෂිත මුඛ ආවරණ නොමැතිව සේවය කිරීමට හෝ ඇතුළත රැඳී සිටීමට ඉඩ ලබා නොදෙන බවත් වෙළඳසැල්වල එසේ සිටින්නේ නම් එම වෙළඳ සැල් හිමිකරුවන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බව නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.