අද වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ වෘත්තීය සමිති 120ක් පමණ පවතින බවත් නුඳුරේදීම එය 240ක් බවට පත්වෙනු ඇති බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (03දා) පැවසීය.
තම තමන්ගේ අධිකාරියක් පවත්වාගැනීමට හා නායකත්වයක් ලබාගැනීමට සෑම වෘත්තීය සමිතියකටම අවශ්‍ය වී තිබෙන බවත්, මෙම තත්ත්වය තුළ දුම්රිය දෙපාර්තමේන්තුව කාර්යක්ෂ්ම කරගන්නේ කෙසේද, ගුණාත්මකභාවයක් ඇති කරන්නේ කෙසේද යන්න පිළිබඳ ගැටලු ඇති වී තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම වෘත්තිය සමිති ඉල්ලන ඇතැම් ඉල්ලීම් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට හෝ අමාත්‍යවරයා වශයෙන් තමාට ලබාදිය නොහැකි බවත්, එම ඉල්ලීම් ලබාදීමට මුදල් අමාත්‍යාංශය, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ කැබිනට් මණ්ඩලය යන ආයතනවල අනුමැතිය ලබාගැනීමට සිදුවන බවත් ඇමතිවරයා පැවසීය.
අද වනවිට අමාත්‍යවරයා ලෙස හෝ ලේකම්වරයා ලෙස දෙනු ලබන තීන්දු පහළ මට්ටමින් ක්‍රියාත්මක නොවන බවත්, මේ හේතුවෙන් මනා දුම්රිය සේවාවක් පවත්වාගත හැකිද යන්න ගැටලුවක් වී තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය