දීපාවලී උත්සව සමයේදී උඩරට වතුකරය තුල කොවිඩ් වෛරසය පැතිරීයාමේ දැඩි අවධානමක් මතුවිය හැකි බවට සෞඛ්‍ය අංශ නිලධාරීහු පෙන්වා දෙති.
උඩරට වතුකරයේ විශාල පිරිසක් බස්නාහිර පළාතේ විවිධ රැකියාවන්ගේ නිරතව සිටින බවත්, බස්නාහිර පළාතේ දැනට කොවිඩ් ව්‍යාප්තිය තදින් පැතිරී යමින් පවතින කාලයක ඔවුන් දීපාවලී උත්සව සමයේ වතුකරයට පැමිණීම හේතුවෙන් මෙම තත්ත්වය මතුවිය හැකි බව ඔවුහු කියති.
නිරෝධායන ඇඳිරි නීතිය බස්නාහිර පළාතෙන් අද (09) සිට ඉවත් කිරීමත් සමඟ බස්නාහිර පළාතේ විවිධ රැකියාවල නිරත වතුකරයේ පිරිස් උඩරට වතුකරයට පැමිණෙන්නට පටන් ගන්නා බවත්, එවැනි පිරිස් වතුකරයට පැමිණ බොහෝ ප්‍රදේශවල සංචරණයන් සිදු කරන බව සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.
වතුකරයේ ජනතාව සෞඛ්‍ය උපදෙස් සම්බන්ධයෙන් කොතරම් දැනුවත් කලද, ඔවුන් එම අවධානම එතරම් සැලකිල්ලට ගැනීමක් පෙන්නුම් නොකරන බවත්, වතුකරයේ ඇතැම් ප්‍රදේශ පසුගිය දිනවලදී හුදකලා කරන ලද දිනවලදී මේ බව පෙනී ගිය බවද සෞඛ්‍ය අංශ නිලධාරීහු කියති.
තලවකැලේ, හැටන්, මස්කෙළිය, බගවන්තලාව, ආගරපතන, කොටගල, වටගොඩ, පුඬළුඔය, කොත්මලේ වැනි වතුකරයේ බොහෝ ප්‍රදේශවලින් මේවනවිටත් කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයන් රැසක් හමුව ඇති බවත්, එවැනි තත්ත්වයක් මත දීපාවලී උත්සව සමයේ වතුකරයේ ජනතාව නගරවලට විශාල වශයෙන් ඒකරාශිවීම මත වතුකරය තුල කොවිඩ් පොකුරක් මතුවීමේ වැඩි ඉඩකඩක් නිර්මාණය විය හැකි බවද ඔවුහු පවසති.
කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට නොගනිමින් උඩරට වතුකරයේ ජනතාව දීපාවලී උත්සවය සැමරීම සඳහා මේ වනවිටත් සුදානම් වෙමින් පවතින බවත්, මුලික සෞඛ්‍ය ක්‍රමවේදයන් පවා අනුගමනය නොකරමින් මෙම පිරිස් දැනටමත් භාණ්ඩ මිලදී ගැනීම සඳහා උඩරට වතුකරයේ නගරවලට ඒකරාශි වෙමින් සිටින බවද සෞඛ්‍ය අංශ නිලධාරීහු කියති.
දීපාවලී උත්සව සමයේදී උඩරට වතුකරය තුල කොවිඩ් උවදුර ව්‍යාප්තවීම වළක්වා ගැනීම සඳහා රජයේ වගකියයුතු අංශ දැඩි අවධානයක් යොමු කල යුතුව ඇති බවත්, දීපාවලී උත්සවය ආසන්න දින කීපය හෝ උඩරට වතුකරයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවිය යුතුව ඇති බවත්, එසේ නොවුන හොත් උඩරට වතුකරය තුල කොවිඩ් ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් ඉහල යනු ඇතැයිද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙති.