ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම අලුත්වත්ත ප්‍රදේශයේ තරුණයකු ගිංගඟට සම්බන්ධ ඇළ මාර්ගයක් මතින් ඇති පාලමකින් ගමන්කරමින් සිටිය දී සැඩ පහරට හසුව ගසාගෙන ගොස් මියගොස් ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ අලුත්වත්තේ පදිංචි 32 හැවිරිදි පී.කේ.රසික සම්පත් නමැති දෙදරු පියෙකි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක් පවතින බැවින් පහත් බිම් ප්‍රදේශවල සිටින පුද්ගලයන්ට ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් උපදෙස් ලබා දී තිබිණ.
හිනිදුම හා තවලම ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කය පුරා ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට ගිං ගඟ පිටාර මට්ටම ළඟා වී සුළු ගංවතුර තර්ජනයක් පවතින අතර පොල්අතුමෝදර ගඟ පිටාර ගැලීමෙන් යක්කලමුල්ල හා ඉමදුව ප්‍රදේශ ජලයෙන් යට වී තිබේ.
ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මරණ ඇතුළු අනතුරු වළක්වාගැනීමට සියලු දෙනා වගබලා ගත යුතු බවයි.
සිරංගිකා ලොකුකරවිට